Saturday, December 31, 2011

ඇන ගැනීම අංක හතර:

මුහුදු හතකටයි වනාන්තර හතකටයි කඳු හතකටයි එහා තිබුන පුංචි ගමේ ඉඳල මම ගියෙ කොහටද කියල ඔය දන්නවනෙ. තනිකඩයෙක් විදියට ගිය නිසා එහේ හිටපු එවුන් මගෙත් ඉල්ලීම මත මට හෙදි ශිෂ්‍යාවක් යාලු කරල දුන්න. ඒක එකම එක ෆැන්ට බෝතලයකට සහ ලියුම් කිහිපයකට සිමා උණා. ඒත්, අද ලියුම් බැලුවම තමයි මට දැනුනෙ, බොක්කටම වැදුනෙ මේ ළමය අම්මටත් කියල නේද කියන දේ. හැබැයි පස්සේ තවත් ලියුමක තිබුන අම්ම දෙවෙනි සැරේ අහපු වෙලාවේ මුකුත් තද බල ලෙස කිව්වෙත් නැතිය, අම්ම කොහොමත් මම දුර වැඩියි (මගේ ගම ගෙදර) කියල කැමත්තක් පෙන්නුවෙත් නැතිය, එයා අම්මට විරුද්දව මුකුත් කරන්නෙත් නැතිය, ඒත් ඕනම නම් අම්මගෙ කැමත්ත ගන්නත් පුලුවන්ය වගේ දේවල් ගොඩක්.

එතනින් පස්සේ ඒ සම්බන්ධය ඉවර උනේ කොහොමද කියල නම් මට හරියටම මතක නැහැ. මම හිතන්නෙ මම ඒ ගමෙන් ඊළඟ තැනට මාරුවෙලා ගිය නිසා වෙන්න ඕන. මම දන්නෙ නැහැ ඒ ළමයා ගොඩක් දුක් උනාද, නැත්තම් මම මගෙ පලමුවෙනි ප්‍රේමයට කලා වගේ බැහැ කියාගන්න බැරිකමට ඉඳල මම ගිය එක ගැන සතුටු උනාද කියල. ඒ ළමය ආ ගිය අතක් අදටත් මම දන්නෙ නැහැ.  කොහේ උනත් ඉස්පිරිතාලෙක හොඳ හෙදියක් වෙලා ඇති. මාව දැක්කත් අඳුර ගන්නව තියා මගේ නමවත් (තවත් සමහර අය වගේ) නොදන්න බව මට විශ්වසයි.

ඔය දවස් වලම තවත් කිය යුතුම දෙයක් උනා. අපේ ස්ටාෆ් එකේම හිටපු විවාහක දෙදරු මවක් මට එක එක විදියේ ආරාධනාවන් කලා. හබී රෑ වැඩට යන දාට මට ගෙදර එන්න පවා කිව්වා. ගෑනියෙකුට එහෙම බය වීමක් මම මෙච්චර කලෙකට වෙලා නැහැ. මම ඒ ආරාධනාවන් පිලිඅරන් නොගිය බව මාත් එක්ක එක බෝඩිමේ හිටපු යාළුවො දන්නවා. ඔයාට මේ දේවල් කියන්නෙ ඔයා මට ආදරය කරන්නෙ කොන්දේසි විරහිතව කියන මතය උඩ ඉන්දගෙනයි.  ඒක එහෙම නොවුනත් මට ඔයාට සාක්කි ගෙනත් පෙන්නන්න විදියක් නම් නැහැ.

කවද හරි අපි බැන්දොත් (keeping my fingers cross) ඔන්න ඕව කියල රන්ඩු පටන් ගන්න නම් එපා. ඒ කාලෙ මට වයස 20 යි. ඔය ඉඟි බිඟි වලට රැවටිලා වැඩ කරන අතරෙ කතබහ කලා හැර වෙච්ච එකම දේ ඉස්පිරිතාලෙ ඔක්කොම ගිය ට්‍රිප් එකකදි මහ වැස්සක් වෙලාවේ පේරාදෙණියේ මල්වත්තේ එක කුඩයක් යටින් ඇවිදන් ගිය එක විතරයි. අමතරව එදා උදේ ඉඳලම මතට තිත තියලයි හිටියෙත්. එදා තමයි අනිත් එවුන්ටත් එන පොට මොකක්ද කියල තේරිලා මට බඩ කට පුරා උපදෙස් ගුරුහරුකම් ලැබුනේ. කොහොමින් හරි මගෙත් අහවල් එකට වඩා දිගට බුද්ධිය පහල වෙච්ච නිසා එතනින් ගැලවුණා. ඒ උන්දැ මට මගෙ ඊළඟට රාජකාරි කරපු තැනටත් එවපු ලියුම් දෙකකුත් මගෙ පෙට්ටගමේ තිබුණා.

එයා තවමත් ඉන්නෙ ඒ දවස් වල වැඩ කරපු තැනමයි. එතෙක් මෙතෙක් කවදාවත් සුවදුක් අහන්නවත් එයාවත් මමවත් කතා කරලම නැහැ.

ඊළඟ සේවා ස්ථානයේ තවත් (අ)සාර්ථක කතාවක් හෙට.

No comments:

Post a Comment