Wednesday, December 14, 2011


මා දයාබර ඉස්කොලේ හාමිනේ වෙත ලියා දන්වන වග නම්,

අද උදැහැනක්කේම ඇමතුවාට බොහොම ස්තුතිය. හැමදාම එහෙම කරන්න තිබුනානං කොච්චර හොඳදැයි සිතුනාය. ඒත් එහෙම කරන්න බැරි බව මතක් උනාම දුකය. කාලාන්තරයකට කලින් වරැද්ද ගත්තා හින්දා දැන් විඳවනවාය. ලබන ආත්මයේවත් එසේ නොවෙවායි පතමිය. ලබන ආත්මයේ ඉපදෙන්නනම් මැරිය යුතුය. ආයෙත් මනුස්ස ලෝකයේම ඉපදේ දැයි ෂුවර් නැති නිසා  ඉස්කොලේ හාමිනේ නොදැක මැරෙන්නත් බැරිය. දවල් හීන දකිමින් වත් හිත හදා ගන්න පුරුදු වෙන්න ඕනෑය.

අද රස්සාවට යනවිට ඉස්කොලේ හාමිනේ මා එපා යයි කිවූ කාලයේ, එනම් අතුගල්පුරයට ගිය සන්දියේම ලැබුණ පෞරාණික හසුන පත් මිටියකුත් රැගෙන ගියෙමිය. ඒවා කියවන විට මට වැරදුනේ ඇයිදැයි සිහියට ආවාය. පරණ මෝඩකම් මතක් වී මට මා ගැනම තරහය. මූනත් එක්ක තරහ වී නහය කපා ගැනීම ඊටත් වැඩි මෝඩ කමක් නිසා යන්තම් නහය අතගා ගෙන එම ලියුම් ඉරා දැමීමට තීරණය කලෙමිය. මේ ගැන වැඩිදුර විස්තර කතා කරන විටක කියන්නේමිය. එතෙක් ඉවසා වදාරන්න යැයි ඉල්ලමිය.

ඉස්කොලේ හාමිනේ දැන් අහන්න යන්නේ මොනවාදැයි මට හිතා ගන්නට ඇහැකිය. ඒ, මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබුණාදැයි කියා බව මට ෂුවර්ය. මේ අඹ ගසත්, තවත් අඹ ගසුත් හැර තවත් බොහෝ ගස් තිබුණා ය. සංසාරේ ඇවිද යන ගමනේ දී මේ අඹ ගස නැවත හමු වෙන්නට පෙර අනෙක් අඹ ගස් අනේක වාරයක්  මුණගැහුණාය. නමුත් මේ අඹ ගස තරම් සසර හුරු බවක් දැනුනේ නැතිය. ඇත්ත කියන්නට ගොස් මේ අඹ ගසේ ගෙඩිත් තිත්ත වේදැයි බයකුත් හිතෙනවාය. මෙහෙම කියන්නෙත් මෙහෙම කියන්න තරම් ආදරයක් ඇති නිසාය. මෙතෙක් කලක් මට මේ දේවල් කියාගන්නට කිසිවෙක් හිටියේ නැතිය. යලිත් කවරදාවත්  ඉස්කොලේ හාමිනේ මා හැර නොයාවියයි පතමින් අදට නවතිමිය.

ඒ වගත් මෙසේම.....

4 comments:

  1. අම්මෝ අදනේ මේ බ්ලොග් එකට ගොඩ වැදුනේ එක හුස්මට මේ කියවනව.තව ගොඩක් කියවන්න තියනව.බලමුකො මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
  2. අවසානයට පැමිණීමට පෙර අතරමග නැවතිලා. තවම ඉස්කෝලේ හාමිනේට මේක කියවන්න ලැබුනේ නැතිලු. කතාවේ ඉතුරු ටික ලියන්න මම එයාගෙන් උත්තරයක් එනකම් බලා ගෙන ඉන්නවා. අපි සතියකට දෙසැරයක් විතර කතාබහත් කරනවා. එත් තවමත් අපි සම්මතයෙන් විසඳුමක් නැති පෙම්වතුන් විතරයි. ස්තුතියි මේ පැත්තේ ආවට.

    ReplyDelete
  3. //මෙතෙක් කලක් මට මේ දේවල් කියාගන්නට කිසිවෙක් හිටියේ නැතිය.//

    ඇයි දැන් මේක (බ්ලොග්) ලෝකයක් කියවනවා..

    ReplyDelete