Saturday, December 31, 2011

ඇන ගැනීම අංක හතර:

මුහුදු හතකටයි වනාන්තර හතකටයි කඳු හතකටයි එහා තිබුන පුංචි ගමේ ඉඳල මම ගියෙ කොහටද කියල ඔය දන්නවනෙ. තනිකඩයෙක් විදියට ගිය නිසා එහේ හිටපු එවුන් මගෙත් ඉල්ලීම මත මට හෙදි ශිෂ්‍යාවක් යාලු කරල දුන්න. ඒක එකම එක ෆැන්ට බෝතලයකට සහ ලියුම් කිහිපයකට සිමා උණා. ඒත්, අද ලියුම් බැලුවම තමයි මට දැනුනෙ, බොක්කටම වැදුනෙ මේ ළමය අම්මටත් කියල නේද කියන දේ. හැබැයි පස්සේ තවත් ලියුමක තිබුන අම්ම දෙවෙනි සැරේ අහපු වෙලාවේ මුකුත් තද බල ලෙස කිව්වෙත් නැතිය, අම්ම කොහොමත් මම දුර වැඩියි (මගේ ගම ගෙදර) කියල කැමත්තක් පෙන්නුවෙත් නැතිය, එයා අම්මට විරුද්දව මුකුත් කරන්නෙත් නැතිය, ඒත් ඕනම නම් අම්මගෙ කැමත්ත ගන්නත් පුලුවන්ය වගේ දේවල් ගොඩක්.

එතනින් පස්සේ ඒ සම්බන්ධය ඉවර උනේ කොහොමද කියල නම් මට හරියටම මතක නැහැ. මම හිතන්නෙ මම ඒ ගමෙන් ඊළඟ තැනට මාරුවෙලා ගිය නිසා වෙන්න ඕන. මම දන්නෙ නැහැ ඒ ළමයා ගොඩක් දුක් උනාද, නැත්තම් මම මගෙ පලමුවෙනි ප්‍රේමයට කලා වගේ බැහැ කියාගන්න බැරිකමට ඉඳල මම ගිය එක ගැන සතුටු උනාද කියල. ඒ ළමය ආ ගිය අතක් අදටත් මම දන්නෙ නැහැ.  කොහේ උනත් ඉස්පිරිතාලෙක හොඳ හෙදියක් වෙලා ඇති. මාව දැක්කත් අඳුර ගන්නව තියා මගේ නමවත් (තවත් සමහර අය වගේ) නොදන්න බව මට විශ්වසයි.

ඔය දවස් වලම තවත් කිය යුතුම දෙයක් උනා. අපේ ස්ටාෆ් එකේම හිටපු විවාහක දෙදරු මවක් මට එක එක විදියේ ආරාධනාවන් කලා. හබී රෑ වැඩට යන දාට මට ගෙදර එන්න පවා කිව්වා. ගෑනියෙකුට එහෙම බය වීමක් මම මෙච්චර කලෙකට වෙලා නැහැ. මම ඒ ආරාධනාවන් පිලිඅරන් නොගිය බව මාත් එක්ක එක බෝඩිමේ හිටපු යාළුවො දන්නවා. ඔයාට මේ දේවල් කියන්නෙ ඔයා මට ආදරය කරන්නෙ කොන්දේසි විරහිතව කියන මතය උඩ ඉන්දගෙනයි.  ඒක එහෙම නොවුනත් මට ඔයාට සාක්කි ගෙනත් පෙන්නන්න විදියක් නම් නැහැ.

කවද හරි අපි බැන්දොත් (keeping my fingers cross) ඔන්න ඕව කියල රන්ඩු පටන් ගන්න නම් එපා. ඒ කාලෙ මට වයස 20 යි. ඔය ඉඟි බිඟි වලට රැවටිලා වැඩ කරන අතරෙ කතබහ කලා හැර වෙච්ච එකම දේ ඉස්පිරිතාලෙ ඔක්කොම ගිය ට්‍රිප් එකකදි මහ වැස්සක් වෙලාවේ පේරාදෙණියේ මල්වත්තේ එක කුඩයක් යටින් ඇවිදන් ගිය එක විතරයි. අමතරව එදා උදේ ඉඳලම මතට තිත තියලයි හිටියෙත්. එදා තමයි අනිත් එවුන්ටත් එන පොට මොකක්ද කියල තේරිලා මට බඩ කට පුරා උපදෙස් ගුරුහරුකම් ලැබුනේ. කොහොමින් හරි මගෙත් අහවල් එකට වඩා දිගට බුද්ධිය පහල වෙච්ච නිසා එතනින් ගැලවුණා. ඒ උන්දැ මට මගෙ ඊළඟට රාජකාරි කරපු තැනටත් එවපු ලියුම් දෙකකුත් මගෙ පෙට්ටගමේ තිබුණා.

එයා තවමත් ඉන්නෙ ඒ දවස් වල වැඩ කරපු තැනමයි. එතෙක් මෙතෙක් කවදාවත් සුවදුක් අහන්නවත් එයාවත් මමවත් කතා කරලම නැහැ.

ඊළඟ සේවා ස්ථානයේ තවත් (අ)සාර්ථක කතාවක් හෙට.

Friday, December 30, 2011


මම මගේ තුන් වන රෝහලේ හිටපු දවස් වල එක ගෑනු ලමයෙක් හිටියා කියල පටන් ගනිමුකො. මේ ළමය මට බොහොම ආදරය කරන බවක් කියුවා. එයා මුනගහෙන්න හැමදාම එන්න කියනව. පොර වෙන්න ලියනවා නෙවෙයි, හරිම දුක්බර ආයාචන ලියල එව්ව. මට ඕන තරම් එයාව රවටල බොරු ආදරයක් පෙන්නනන්න තිබුණා. එත් අද මට හරිම සතුටුයි මම ඉතාම දරුනු විදියට වුනත්ඒ ළමයව මග ඇරල හිටපු එක ගැන. එයා ඉස්පිරිතාලෙට ආවම මම මගෙ ඔෆිස් එක වහල යනව. අන්තිමට කියල තිබුන එයාගේ open university විභාග ඉවර වෙනකම් හරි එයාට දුකක් නොදී ඉන්න කියල. මට චෝදනා කරල තිබුණා එයා මට ආදරේ වුනෙ මම හිතවත්ව කතා බහ කරපු නිසා කියලා. හරියටම මම අනිත් අයට චෝදනා කරනව වගෙමයි නේද? ඊට ටික කාලෙකකට පස්සේ මම කිසිම අනුබලයක් නොදීපු නිසා ඒ ළමය බැන්දා.

මම කවදාවත් එයා මට කරදරයක් කියල මග ඇරිය නෙවෙයි. ඒත් මට කිසිම උවමණාවක් තිබුනෙ නැහැ නොකෙරෙන දෙයකට මුලපුරන්න. දැන් ඒ ලියුම් බලනකොට මම කරපු දේ හරි බව මට හිතෙනව. එයාගෙ ඉල්ලීම් වලට එකඟ වෙලා මුනගහෙන්න ගිහින් බලපොරොත්තු ඇති නොකර කොච්චර දරුනු විදියකට උනත් මම ඒ (කවදාවත් ඇති නොවුන) සම්බන්ධය කඩා දමපු එක එයාට මම කරපු උදවුවක් බවයි මගේ හැඟීම.

මගේ අතීතයේ කළු පාට පැත්ත ගැන කියන්න කලින් කළුත් නොවෙන සුදුත් නොවෙන සිදුවවීම් කිහිපයකුත් තියෙනවා කියන්න.

ඊටත් කලින් තවත් දෙයක් කියන්නම ඕන. මොන තරම් කාන්තා නම් මගෙ නම එක්ක ගෑවුනත්, මම ඒ කිසිම කෙනෙක් එක්ක කවදාවත් intimate සම්බන්ධ කම් පවත්වන්න උත්සාහ කලේ වත් නැහැ. එහෙම වුනේ ඒ වගෙ ආසාවල් නැති ලෙඩක් නිසා නෙවෙයි. මට හිතුන, මම තවමත් හිතනව ඒක වැරදි වැඩක් කියල. තව කෙනෙකුගෙ මූනෙ දැලි ගෑවෙන වැඩක් කරල මම ආයෙත් ඒ මූන බලන්නෙ කොහොමද? අනික මම අතින් වරදක් වුනානම් එකේ වගකීම බාරගන්න වෙනවා නේද? ඉතිං වගකීම් බාරගන්නවට වඩා ලේසියි වරදක් නොකර සිටීම.

කසාද බැඳපු දවස් වල වෙච්ච දේවල් වෙනම කියන්න ඕන. ඒ ටික කියන්නම් කවද හරි අපි දෙන්න කසාද බැන්දොත්.

This is enough for the preamble. Let’s start the story of the world of shame.

ඉතුරු කොටස ලබන සතියේ. නෑ, හෙට.

Thursday, December 29, 2011


දුහුලු මලකට පෙම් කරමි.

මිනිස්සු චිත්‍රපටි බලලා තමන්ගේ ජිවිතත් ඒ වගේ වෙයි කියල හීන බලනවා නේද? මේ බ්ලොග් එක දිගටම කියවන්න. එතකොට ඔයාට තේරේවි දුහුලු මලක් මගේ ජීවිතේට මොනතරම් සමීපද කියල. ජීවිතයත් එක්තරා කතාවක් ඉස්කෝලේ හාමිනේ. අපි ඒකෙ චරිත විතරයි.

ඉස්කෝලේ හාමිනේ දුහුලු මලක් චිත්‍රපටිය බලලා තියෙනවද? මට මතක විදියට මම ඒක බැලුවේ ඔයාව දකින්න අවුරුදු 2 කට විතර කලින්. මම සාමාන්‍යයෙන් TV එකේ පෙන්නන චිත්‍රපටි බලන්නේ නැහැ. ඕක ඒ දවස වල පෙන්නුවේ රූපවාහිනී චැනල් එකේ. මට ඔයාව මුණගැහෙන්නත් කලින් කියන්නේ බොහොම කාලෙකට පෙර. අපේ ගෙදර තිබුනේ අඟල් 15 ක කළු සුදු රූප පෙට්ටියක්. මට මුලු චිත්‍රපටියම බලන්න ලැබුනෙත් නැහැ. මට මතක විදියට මම කාමරේ පොතක් හරි කාන්තා පත්තරයක් බල බලා හිටියේ. අපේ ගෙදර හැමෝම (තාත්තා හැර - තාත්තා ඕව බලන්න එච්චර උනන්දුවක් දැක්වුවේ නැහැ) TV එක ළඟ ඉඳගෙන ඕක බලන්න සූදානම් වෙලා මටත් කතා කලත් මම බැහැ කියල නිකම් හිටිය. ඒත් ටික වෙලාවක් කතාව අහගෙන ඉන්න කොට මටත් බලන්න හිතිලා මම ඇවිත් බැලුවා.

එදා ඉඳන් මම හිතන්නේ මම බලපු ලස්සනම film එක තමයි දුහුලු මලක්. ඒකෙ තිබුන එක සින්දුවක කියනවා "හිරු සඳු එකවර දෙපස නැගේ.. කළුවර ඇයි විජිතයම මගේ.." මගේ ලියපු සටහන් ඔක්කොම බැලුවනම් ඔයාට තේරෙනවා ඇති මම තාමත් දුහුලු මලකට කැමති ඇයි කියල. අනිත් සින්දුව බොඳ මිදුම් කඳු රැල්ලේ... ඒකත් බලන්න. හරිම ලස්සන සින්දුව. මටත් කවදා හරි ඉස්කෝලේ හාමිනේ එක්ක එහෙම තැනකට යන්න ලැබෙනවානම්..... ඒකත් මගේ හීන ලිස්ට් එකට දාගන්න ඕන.

මුලින්ම බාඳුරා මල. බාඳුරා මලටත් කොල්ලෙක් ඉන්නවා කියද්දීමනේ මමත් පස්සෙන් ගියේ. ඒ එක.

දෙක, මට කැමති වෙච්ච දෙදරු මව. ඒ මාගම මට දුහුලු මලක් පොතත් හොයල ගෙනත් දුන්නා. පුලුවන්නම් හොයාගෙන කියවන්න. film එක බැලුව වගේම කතාව මවාගන්න පුළුවන්. හරිම ලස්සනට ලියලා තියෙනවා. මට තාම මැවිලා පේනවා "හොර" ගෙදර ඉන්න වෙලාවේ "හරි"  ආවහම නීටා ප්‍රනාන්දු බිත්තියට පිට හේත්තු කරගෙන හයියෙන් කතා කරනවා.

තුන. ඔය සිදුවීම් වල අනිත් පැත්ත. මගේ නෝනා දුහුලු මලක් වෙන්න හදපු කතාව. ඒ ගැන මට මෙතන ලියන්න බැහැ. ඒක අපි බැඳපු දවසකම ඔයාට කියන්න තියෙන ලිස්ට් එකේ තියාගන්නම්.

හතර. අපි. මේ පොස්ට් එක ලියන දවස වෙනකොට ඔයා මට ආදරෙයි කියල දවස් දෙකක්. ඒත් ඊට පස්සේ තාමත් මට ඔයාට කතා කරන්න බැරිවුණා. මට බයයි ඔයාට ගෙදරින් ප්‍රශ්නයක්ද කියලත්. ඒ නිසා දිගටම කතා කරන්නත් බැහැ. ආයෙත් සැරයක් හැරෙන තැපෑලෙන්ම red notice දත් මන්දා. ඒ මොනවා වුනත් මම තාමත් ඔයාට ආදරෙයි ඉස්කෝලේ හාමිනේ. කවදම හරි ඔයා මේක කියෙව්වොත් මට කොමෙන්ට් එකක් හරි ලියල යන්න. එහෙම නොවුනොත් මම ආයෙත් ඔයාට කතා කරන්නේ දෙසැම්බර් 31 දා.

ජීවිතය සුන්දරයි දීපා. සතුටින් සිටින්න. මමත් අද වෙනකනුත් ඔයා නිසා සතුටිනුයි ඉන්නේ.

ලියුවේ: December 28. 

ප:ලි: දවස් දෙකක්ම ඔයාගෙන් call එකක් නැතුව හිතේ අමාරුවෙන් ඉඳපු මට තවත් අසාධාරණ සිතුවිල්ලක් පහල වෙලා. මෙහෙම ලියුවට වරදවා හිතන්න එපා. මගේ මෝඩකමට මගේ හිතට එන හැමදේම ලියනවා විතරයි. ඇයි ඉස්කෝලේ හාමිනේ ඔයා ගෙදර යන බව මට කියුවේ නැත්තේ. ඔයාට කලින් දවසේ විභාගයක් තියෙනවා කියලවත් මට කිවුවේ නැහැනේ. ඔයා මට ඕව කියන්න බැඳිලා නැහැ. ඒත් මට දුක හිතුනා. බය වෙන්න එපා. ඔයාගේ ජිවිතේ හැම දේම මට කියන්න කොහෙත්ම ඕන කමක් නැහැ. මේ මම ලිව්වේ මට හිතුන දේ.

ප:ප:ලි: අද හිම වැටෙනවා... හරියට මගේ පෑරිච්ච් හිතට ඔයාගෙන් text එකක් ආව වගේ...

Wednesday, December 28, 2011


අප්‍රසන්න ප්‍රථම ප්‍රේමය.

මුලින්ම මා එක්ක ගැහැණු ලමයෙක් යාළු උනෙ මම උ/පෙ කරන කාලෙ. ඒකම තමයි වෙච්ච පලමුවෙනි වරදත්. උ/පෙ සාර්ථක නොවෙන්න විතරක් නෙවෙයි, යාළුවීමම ලොකු වැරදීමක්. මම ට්‍රයි කළේ අල්ලපු තාප්පේ හිටපු ලමයට. ඒ ගැන කතා කරන්න ගිහින් යාළු උනෙ එයාගෙ යාළුවා. තාප්පේ හිටියෙ පොස්ටරයක් නෙවෙයි, අල්ලපු ගෙදර තාප්පෙන් වටවෙච්ච ගෙදර ළමය. ඕකවත් තෙරෙන්නෙ නැද්ද? 

ඒ ළමයගෙ විශේෂය තමයි, මම කසාද බැඳපු නෝන හැර මාත් එක්ක යාළු වෙලා හිටපු මට වඩා බාල එකම ළමය.

ඔය අතරෙ මට සහ මගෙ යාළුවෙකුට තවත් අක්ක නගො දෙන්නෙක් මුනගැහුන. ඒක වුනේ අපේ පරිප්පු ඉස්කෝලෙ තිබුන ප්‍රදර්ශනේක අන්තිම දවසේ. ‍යාළුවගෙ වදේට අපි දවසක් double date (DD) එකකට ගියා. මේක අර ලා බාල ලමයට ආරංචි වෙලා ඒකි STF කොල්ලෙක් එක්ක යාළු වෙලා මට පොල්ල තිබ්බ. මමත් ඒක එහෙම උන එක ගැන බොහොම සතුටු වෙලා ඒ සම්බන්ධකම් දෙකම වහල දැම්ම. ලස්සනම දේ ඒක නෙවෙයි.
අපි DD යනකොට මාත් එක්ක ගියෙ අක්ක නැඟී දෙන්නගෙන් අක්ක, (මගෙත් අක්ක කෙනෙක් වෙන්න තරම් වයසයි.) මගේ යාළුවා මට වඩා අවුරුදු දෙකක් වයසයි. ඌත් එක්ක ගියේ නංගි. අන්තිමට ඒ අක්ක මගෙන් හැලුන හැටියෙම මු නංගිව හලල අක්ක දා ගත්ත. ඊට පස්සේ මම දන්න එකම දේ මගෙ යාළුවා Papua New Guinea වල මහ බැංකුවේ ලොක්ක විදියට පත්විමක් ලැබිල එහෙ ගිය බව විතරයි.


**************

ඊ ලඟට මගෙ බාඳුරා මලට බැඳී අන්ධ ප්‍රේමය. ඒක ගැන දවස් ගානකට කලින් ලියල තියෙනවනෙ. ඒ ළමයත් මට උල්පන්දම් දුන්න කියල මම ඒ දවස් වල චෝදනා කලාට දැන් මම දන්නව ඒ ඔක්කොම මගෙම වරද. සිකුරු මහ දශාව ලැබුවම ඔයවගේ මෝඩ වැඩ වෙනවලු. අවුරුදු 20 කට පස්සේ හරි මොලේ පෑදිලා සමාවෙන්න කියන්න ගිහින් තවත් අලුත් ප්‍රශ්න ඇති වෙයිද දන්නෙත් නැහැ නේද?
 

**************
නැවතුම අංක තුන. ඔයාගෙ ගම. මුහුදු හතකටයි වනාන්තර හතකටයි කඳු හතකටයි එහා තිබුන පුංචි ගම.


දැන් ඉතිං ඇස් පියාගෙන අතීතය මතක් කර ගනිමු. පුංචිම පුංචි කාලයක් උනත් ඒ අතීතය සුන්දරයි.

Tuesday, December 27, 2011


ඔය කාලෙමනේ වැඩ වර්ජන බස් වර්ජන එහෙම තදටම තිබුනේ. මේ මම ඒ ගැන ලියපු හැටි.

වර්ජකයෙනි
තොපට ශාප වේවා!
ඇයට මා දකින්නට එන්නට
මග ඇහිරුවාහිය තොප.


මට
මගේ ආදරනීය කුමරිය
දකින්නට නොසැලසුවාහුය තොප

නමුත්
නොහකිය තොපට සිඳලන්නට
ඇය වෙතට පිදූ සෙනෙහස
නොහකිය තොපට උදුරා ගන්නට
එකම හාදුවක් හෝ ඇගෙන්
නොහකිය තොපට රිදවන්නට
ඇය මා රිදවන්නක් මෙන්


එපරිදිම
නොහැකිය මටත් රැඳෙන්නට
එක තැනක
එක අරමුනක
නොහැකිය මට සිටින්නට
නොදැක මගේ කුමරිය


එබැවින් සොයා එන්නෙමි මා ඔබ
ඔබේ නවාතැන් සෙවනට
සිප ගන්නට නොවේ දෙතොලත
විඳින්නට නොවේ ලැම පහස


එහෙනම් මොන මගුලටද?
රිදවා ගනු පිනිසමය මසිත....


විප්ලවය දෙදන අතර හිරවෙලා වගේ නේද? ඔන්න ඔහොම තමයි ආදරයෙන් ආතුර වෙලා හිටපු කාලේ කවි ලිවුවෙ.

"ඔයා හරි විරූපියි පීටර්" කියල මගේ මූනටම කිවුවෙත් මේකිම තමා.

Monday, December 26, 2011

ආදරණිය දීපා,

අවුරුදු 21 කට පස්සේ හරි අද අහන්න ලැබුණ දේට මට හරිම සතුටුයි. හරියට කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන හිටි‍ය වගෙයි දැනෙන්නේ. කවදාවත් අහන්න නොලැබෙනවට වඩා පරක්කු වෙලා හරි ඔයා මට ආදරෙයි කියල ඔයගෙන්ම අහන්න ලැබුන එක කොච්චර දෙයක්ද? ගතින් බැරි වුනත් සිතින් හරි අපිට ආදරයෙන් ඉන්න පුළුවන් නම්.... තව මොනවද ඕනේ... ඒත් මට බයයි දීපා, ඔය මේ බ්ලොග් එක බලපු දවසට ඔයාට මාව එපා වෙයිද දන්නේ නැහැ. ඒක එහෙම වුනත් මම හිතන්නේ මම ඔයාට හැම දෙයක්ම කියලා ඔයාටම තීරණයක්‌ ගන්න දෙන එක තමයි හරි. කවදා හරි අපේ දෛවයේ ලියවිලා තියෙනවනම් ඔයයි මමයි එක වහලක් යටට එකතු වෙන්න ඕන කියල ඔයා හැම දෙයක්ම දැන ගෙන තියෙන්නම ඕන.

මේ සටහන ලියුවේ වෙනද ලියන පීටර් ට වඩා ගොඩක් සතුටෙන් ඉන්න පීටර් කෙනෙක්. ඔයා ඉක්මනට ඊ-මේල් හදාගන්නකෝ. මම හැමදාම ඔයාට ලියන්නම්.

මමත් ඔයාට ගොඩක් ආදරෙයි ඉස්කෝලේ හාමිනේ. 

Sunday, December 25, 2011

හාල් මැස්සෙකුගේ ගීතය.

පුදකලෙමි ජිවිතය
ගොදුරක් වන්න නුඹේ
කැප කලෙමි සොඳුරු සමනල් දිවිය
දිලුනු ඇමකට රැවටී


අනුබව කරපන් මගෙ සියොලඟ
මොහොතකට රැවටුන පවට
නුඹද මෝඩයෙකි මා මෙන්ම
සදාකල් ඇමට රවටෙන….


මේකත් මගේ බත් කවරේ තිබුණ කවියක්.

ඔබට හාල්මැස්සන් නැතුව බත් කන්න ලැබෙන සුබ නත්තලක් වේවා!

Saturday, December 24, 2011


මගේ අප්‍රසන්න අතීතයේ කතාව: දෙවන කොටස.

මම තදටම ඇන ගත්ත දැරිවි ගැන ඔයාට කිව්වා මතකයි නේද? මගේ බාඳුරා මල. ඒ දැරිවි බොහොම පැහදිලිව මට ලියල තිබුන එයා තව කෙනෙකුට බහ දීල ඉවර බව. ඒ ළමය කොක්ක දා ගෙන තිබුනෙ වයස 15 ඉඳන්ලු. මම දන්නෙ නැහැ ඇයි මම ඒක පිලිගන්නෙ නැතුව ඒ කෙල්ල පස්සේ ගියේ කියල. කොච්චර මෝඩ කමක්ද, නේද? මම දන්නෙ නැහැ ඇයි මට ඉස්කොලෙ හාමිනේ "බැහැ" කියපු වෙලාවෙ ඒක පිලිඅරන් වැරදුනා කියල හිතාගෙන නිකම් හිටිය වගෙ ඒ දවස වලත් නිකම් නොහිටියෙ. මට හිතෙනව ඒ ලමයට කතා කරල සමාවෙන්න කියන්න. දන්නවද? මම අන්තිමට බාඳුරා මලට කතා කලේ මම මගේ දෙවන රෝහලින් එන්න මාසෙකට වගේ කලින්. ඒ කියන්නෙ 1990. මම මේ මුලු කාලෙම දැනගෙන හිටියා එයා ඉන්නෙ කොහෙද කියල. සමහර අය වගෙ 91 යාලු වෙලා 92 කසාද බැඳල අතුරුදහන් වෙලා හිටියෙ නැහැ.

ඔයා කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත කියවල තියෙනවද? පොත කියවල නැතත් ඔයා ටෙලිය හරි බලන්න ඇතිනේ. මේ බාඳුරා මලත් ගොළු හදවතේ ධම්මි වගේ වෙන්න හැදුවද මන්දා. මට මතකයි කස කසා ඇට දාල සරුවත් බොන්නයි තිත්ත කෝපි වලටයි ආසයි කියනවා. සමහර විට මට අකමැති වුනාට මගෙන් ලැබුන ආදරය ගැන තණ්හාවක් හිතෙන්න ඇති. ගැහැණු ළමයි හරිම සංකීර්ණ සත්ව කොට්ටාශයක්. උන්ව තේරුම් ගැනීම e-coli බැක්ටීරියාවක් ඇතුලේ සිද්ධ වෙන රසායනික ක්‍රියාවන් තේරුම් ගන්න
උත්සාහ කිරීමටත් වඩා අමාරුයි.

ඔයාට මම දවසක් කියපු විදියට මගෙ පරණම පරණ ලියුම් වගයක් හමුවෙල මම කියෙව්ව. ඒව කියෙව්වට පස්සේ මට මම ගැනම හරිම කලකිරීමක් ඇතිඋනා. මම මොන තරම් මගෙ ජිවිතය අවසනාවන්ත කරගෙනද කියල දැනුයි මට තේරෙන්නෙ. පරන ලියුම් කියවනව කියන්නෙ යටගිය අතීතය මතක් කරල සතුටු වෙන්න පුලුවන් දෙයක් කියලයි මම හිතුවෙ – ඒ ඔයාගෙ ලියුම් කියවපු දවසෙ. ඒත් එක එහෙමම නෙවෙයි වුනේ. මගේ අවසනාවන්ත අතීතය හරියට කේ. ජයතිලකගෙ පොතක් වගේ. මට ඕන කාට හරි මේ විස්තර කියල ඒ අඳුරු අතීතය පිරුන ලියුම් ඉරල පුච්චලා දාන්න. විස්තර කරන්න පහසුවට කලු සුදු කියල මගේ අත්දැකීම් බෙදල වෙන්කරල ලියන්නම්.

මේක බොහොම දිග කතාවක් වේවි. ඒ නිසා කොටස් කිහිපයකට තමා ලියන්න වෙන්නෙ. මේ ලියුම ඔයා කවද හරි බැලුවොත් ඊට පස්සේ මට කතා නොකර ඉන්න වුනත් ඔයාට අවසර තියෙනවා. මීට කලින් නොකළ වගේම මම ඔයාට කවදාවත් කරදර කරන්නෙ නැහැ. මට යන්තම් දැනගන්න අරින්න ඔයා මේක කියවපු බවත්, මින් ඉදිරියට කතා නොකල යුතු බවත්.

සිද්ද වෙච්ච දේවල සිදු වෙච්චදි න පිලිවෙලට ලියුවනම් තමා හොඳ. ඒත් සමහර කලු දේවල් කියෙවුවම ඔයා සුදු දේවල් නොබලම මාව කලු මිනිහෙක් විදියට ශ්‍රේණි ගත කරන්න ඉඩ ඇති නිසා මුලින්ම මම හොඳ මිනිහ වෙච්ච ඉතා සුලු "සුදු" අවස්ථාවක් ලියන්නම්..

ඉතුරු කොටස හෙට.

Friday, December 23, 2011


බාඳුරා මලකි ඇය
සඹද ඔබ වෙලාගත්
කෙන්ඩියයි ඇගේ සිත
ඔබ දමා වසා ගත්

දිනකදී ශේෂ වෙයි
ඔබ අස්ථි කෙන්ඩියේ
ඉවතලනු ඇත එවිට
සෙනෙහසින් ඔබෙ හපය.

ඔන්න ඔහොම දවසක් මගේ බත් මුල දාගෙන ආපු කවරේ ලියල තිබුනා. කතෘ කවුරු උනත් ඒකෙන් අදහස් වුනේ මගේ ඉතිහාස ගත ඇනගැනීම ගැන මට කනගාටුව පළකිරීම. අද වෙනකම් අවුරුදු 22 ක් මම ඔය පරණ බත් ඔතපු කොලේ තියාගෙන ඉඳල. නමුත් අද මම දන්නවා ඒ අදහස එහෙම පිටින්ම වැරදියි. වරද මගේ.

හෙට කතාවෙ ඉතුරු ටික බලන්නකෝ. එතකොට පැහැදිලි වේවි.

Thursday, December 22, 2011


ඒ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේ. ඒ පොස්ට් එක කියෙව්වෙ නැත්නම් ඒක බලල එන්න. ඒ පොස්ට් එකේ දිනය දෙසැම්බර් 14, 2011.

අවවාදයයි. මෙය කියවවීමෙන් පසු " මම මොනව කරන්නද" යන කල්පනාවට වැටිමට ඉඩ ඇත.

මේ ලියුම කියෙව්වට පස්සේ අනිත් ඒව එකක්වත් කියවන එකක් නැති වෙන්නත් පුලුවන්. ඒ නිසා අනිත් සටහන් ටික ඉස්සෙල්ල කියවල එන්න. ඉංග්‍රීසි යතුරු පුවරුවක සිංහල අකුරු කොටන්න බොහෝම මහන්සි වෙච්ච නිසා වත් ඒ ටික බලන්න. දැන් අහන්න ඇයි මම මේ දේවල් ලියන්නෙ කියල. මෙන්න මේකයි වුනේ.

ඔයා මට ආදරෙයි කියපු දා ඉඳල දවසෙ හැම විනාඩියකම ඔයා මගෙ හිතේ හිනා වෙවී ඉන්නවා. මට හිතුන දැන් මම සතුටෙන් නේද කියල. ඒ උනුසුම පිට තමයි මම තවදුරටත් මගෙ ඉතිහාසය හාරන්න හැදුවෙ. ඉතිං ඒකේ ප්‍රතිපලය තමයි මේ. ඔයා මට ආදරය කරන්නෙ කොන්දේසි නැතුව කියල හිතන නිසාත්, මම තරම්ම නැතත් යන්තම් හෝ මැදිවියට ඇවිත් ඉන්න නිසා බොලඳ පෙම්වතියකගෙ ඇසින් නැතුව යටගිය දවස යටගිය දවසක් විදියටම බලන්න ඔයාට පුලුවන් වෙයි කියලත් හිතෙනවා.
 
ඔයා දන්නවනෙ මම ඔයාලගෙ ගමට එන්න කලින් අම්බානකට ඇනගෙන හිටියෙ කියල. කොල්ලො මට “ඇනපති” කියලත් ඒ දවස් වල කිවුව. එහෙම ලියපු ලියුම් කවරෙකුත් මගෙ ඉතිහාස පෙට්ටගමේ තිබිල හම්බ වුනා. ඒ ඇනගැනනීම කොච්චර මෝඩ වැඩක්ද කියන දේ මට අද තමයි දැනුනෙ. මීට කලින් කවදාවත්ම මට මෙහෙම හිතිල නැහැ. හේතුව තමයි, මම ඔයාලගෙ ගමෙන් ආවට පස්සේ පහුගිය 21 අවුරුද්දටම මේ තමයි පරණ ලියුම් කියවල බලන පලමුවෙනි වතාව. ඔයට ගොඩක් පින් මගෙ හිතේ නිදාගෙන හිටපු පැත්ත අවදි කරල සත්‍ය අවබෝධ කරගන්න උපකාර උනාට. මම දන්නෙ නෑ ඇයි මම මෙච්චර දවසක් ඒව නොබැලුවෙ කියල. සමහර විට මටත් මගෙ අතීතය ගැන සතුටක් නොතිබුන නිසා වෙන්න ඇති.


ඉතිරි කොටස හෙට දාන්නම්. සමහර විට ඔයා බ්ලොග් කියවන කාලේ වෙනකොට මුළු විස්තරයම ලියල ඉවරකර ගන්න පුළුවන් වේවි.

මේක මම ලියන්න පටන් ගත්ත එකමත් එක කාලෙක කතාවේ ඉතුරු කොටස නෙවෙයි. ඒ වුනත් මේක ලියල ඉවර උනාට පස්සේ ඒ කතාව ලියන එකේ තේරුමක් නැති වෙන්නත් පුළුවන්.

පාරිබෝගික අවවාදය අංක 2: පරණ කඩදාසි කියවීමෙන් එම කඩදාසි වල ඇති දුවිල්ල නිසා කැස්ස, උගුර කැසීම, සහ හිසරදය සැදීමට ඉඩ තිබේ. අත්දුටුවයි. සත්‍යයයි.

Wednesday, December 21, 2011


ඉතිං ඊට පස්සේ...

වෙද ගෙදර හිටපු තරුණයා ඒ වෙනකොටත් කුස රජ්ජුරුවෝ පබාවතී පැතුවා වගේ, ගම දුව තරම්ම ලස්සන නැති වුනත් තව දැරිවියකගෙන් ප්‍රතික්ෂේප වෙලා තමයි හිටියේ. ඔය අතර වාරයේ ගමදුව ගැනත් උන්නැහේගේ හිතේ ආදරයක් ගොඩ නැගෙන්න ඇති. ඕවා ඔය තරුණ කාලෙට කාගේ උනත් හිත්වල ඇතිවෙලා සමහර විට ඒ වගේම ඉක්ක්මනට නැතිවෙලා යන අදහස්නේ. අපේ පරණ ගම් වල හැටි කියන්න, මේ දෙන්නා ඊට පස්සෙත් එකම එක දවසක් විතරයි මුණගැහිලා කතාබහ කරලා තිබුනේ, මුළු ගමේම උදවිය මේ ගැන අහන්න ගත්තා. වෙද පුහුණුවට ඇවිත් නතර වෙලා හිටපු ගෙදර උදවිය තමයි මේ ගැන බොහෝම උනන්දු උනේ.

කොහොමින් කොහොමින් හරි වෙද ගෝලයා ගම දැරිවි ගැන බොහෝම ඉක්මනට බලාපොරොත්තු ඇතිකර ගත්තා. මිනිහා මේ ගැන ගම් දනවු ගණනාවක් දුර හිටපු මිනිහගේ දෙමාපියන්ටත් දන්වලා කටයුතු එකලාසයක් කරගන්න පවා හීන මැවුවා. සමහර විට ගම දුව ගේ ලස්සන හිනාවට හරි එහෙමත් නැත්නම් බොහෝම ලස්සනට හිත ඇද ගන්නා විදියට කතා බහ කල නිසා හරි වෙද ගෝලයා ගමදුවට මුළුමනින්ම වශී වෙලා වගේ හිටියේ.

හැම සුරංගනා කතාවකම නපුරු මන්තර කාරියෙකුත් ඉන්න එපායැ. මේ දෙන්නටත් ඒ වගේ දෙයක් වුනා. අපේ ගම පවුල ජිවත් වුන ගමේම, අපේ ගම දුව කාලේ ගෙවා ගන්න ගිය ගුරු ගෙදරම තමා ඔන්‍න‍ ඔය කියන මන්තරකාරිත් හිටියේ. මේ මන්තතරකාරි තමයි මේ ගම දුවවයි වෙද ගෝලයවයි මුණ ගස්සුවෙත්. එහෙනම් ඉතිං මොකක්ද නපුරුකම? ඉන්නකෝ කියනකම්.  

අපේ ගම දුව වගේම වෙද ගෝලයටත් නොහිතුණා නොපෙනුනාමත් නෙවෙයි... මේ දෙන්නා අතරේ කවදාවත් වෙනස් කරන්න බැරි නොගැලපීමක් තිබුනා. අද කාලේ වගේ නෙවෙයි ඔය ඉස්සර කාලේ, ගම්වල උදවිය ඔයවගේ නොගැළපීම් ගැන හරි බයයි. ඉතිං මොකක්ද දන්නවද උනේ? අනේ මේ දෙන්නා ආදයෙන් බැඳුනා වුනත් අර නොගැලපීම දැනගත්ත ගමදුවට කරකියා ගන්න දෙයක් හිතා ගන්න බැරුව ගියාලු.

බලන්න මන්තරකාරී කරපු නපුර. මෙච්චර දවසක් කැලේ කොලේ ඇලේ දොලේ වන වදුලේ සමනලියක් වගේ දුව පැන ඇවිද කෙලි දෙලෙන් හිටපු ගම දුවගේ හිතට ප්‍රශ්නයක් ඇති කලා. එහෙම කරපු මන්තරකාරී ඊට පස්සේ ගම අතහැරලා ගියා. තවත් ගමක තවත් මේ වගේම අහිංසක සුරන්ගනාවියකට සාප කරන්න යන්න ඇති. ඔය සාපය එතනින් ඉවර උනෙත් නැහැ.

මේ දෙන්නා ගේ තිබුන නොගැලපීමයි ගම දුවටයි වෙද ගෝලයටයි මොකද උනේ කියලා අනිත් දවසේ ලියන්නම්.

(මතු සම්බන්ධයි)  

Tuesday, December 20, 2011


අද මම ලියන්න යන්නේ පරණ ගම කතාවක්.

ඔන්න එකමත් එක කාලෙක මුහුදු හතකටයි වනාන්තර හතකටයි කඳු හතකටයි එහා පුංචි ගමක් තිබුණා. මේ ගම තිබුනෙත් තවත් කන්දක් උඩ විශාල වනාන්තරයකට මායිම වෙලා. හැම ගමකම වගේ මේ ගමෙත් ගමරාලයි ගම මහගෙයි තමයි හිටියේ. ඊට අමතරව ඒ දෙන්නට සුදු ලස්සන පුන්චි දූ කුමරියෙක් හිටියා. මේ කන්දක් උඩ තිබුන ලස්සන ගමේ කඳු මුදුන් වල දුව ඇවිදිමින් දොළ පාරවල වතුරට පැන පැන මේ පුන්චි ගමදුව ඉතාම නිදහස් ජිවිතයක් තමයි ගත කලේ. කාලය ගෙවිලා ගිහින් මේ ගමදුව ලස්සන තරුණියක් බවට උස් මහත් උනා. මේ ගමදුවට වයස අවුරුදු 24 ක් විතර වෙනකොට ගමදුව කල්පනා කලා තව දුරටත් නිදහසේ දුව පැන නට නටා ඉඳල හරියන්නෙ නැහැ, මමත් මොනවා හරි වැඩක් කරන්න ඕනෑ කියල. ගම දුවගේ තාත්ත, ගමරාල බොහොම මහන්සි වෙලා වැඩ පල කරපු කෙනෙක් නිසා මේ අයට කිසි දේකින් අඩුපාඩුවක් තිබුනෙත් නැහැ. ඒත් ඉතිං කොහොම හරි අපේ ගමදුව තීරණය කලා ගමේ ගුරුතුමා ලඟට ගිහින් ගුරුතුමාගේ වැඩ වලට උදවු කරන්න.  

ඔන්න ඔය කාලේ තමයි තවත් ඈත ගමක ඉඳල බොහෝම කෙසඟ තරුණයෙක් මේ ගමට ඇවිදගෙන ආවේ. මේ තරුණයා ඇවිත් තිබුනේ ගමේ වෙද මහත්තය ගෙන් වෙදකම් ටිකක් ඉගෙන ගන්න. අපේ ගමදුවගේ ගමට එන්න කලිනුත් මේ ආගන්තුක තරුණයා වේද හෙද කම් ටිකක් දැනගෙන හිටියා. ඉතිං මේ අලුතෙන් ආපු තරුණයා ගමේ දන්න අඳුනන කිසිම කෙනෙකුත් නැති නිසා දවසක් හවස ගුරු ගෙදර පැත්තේ ආව. එදා තමයි මේ කෙසඟ තරුණයා තමන්ගේ ජීවිතේදී දැකපු ලස්සනම තරුණිය දැක්කේ. එ තමා අපේ ගමදුව. ගමදුව කිව්වට මේ වෙනකොට එයා වයස 24 ක විතර තරුණියක්නේ. දැකපු මුල්ම දවසේ මේ තරුණයට ගමදුව ගැන ආදරයක් හිතුනද කියලනම් දන්නේ නැහැ, ඒත් ඒ දෙන්නා බොහොම වෙලාවක් කතා කරමින් හිටියා. කොච්චර කතා කලත් ගමේම හැදුන ගමදුව මේ තරුණයට තමන්ගේ නම කිව්වේ නැහැ. වෙද ගෝලයා ගමදුවගේ නම දැනගත්තේ ඊට අවුරුදු 21 කට පස්සේ. සමහර වෙලාවට මේ ලස්සන ගමදුව කිංකිණි නදින් හිනා වෙන කොට අර තරුණයට දුකකුත් හිතුණා. ඇයි දන්නවද? ඒ තරුණයා කෙසඟයි වගේම කොහොමටවත්ම කඩවසම් නැහැ. හිතාගන්නකෝ පබාවතියි කුස රජ්ජුරුවොයි වගේ කියල. හැබැයි කුස රජ්ජුරුවන්ගෙයි මෙයාගෙයි තිබුන වෙනස තමා මූණ කැවුමක් වගේ නොවී හූනෙක් වගේ වෙච්ච ඒක. ඒ වගේම මේ තරුණයත් අපේ ගම දුව වගේම නැතත් ටිකක් පැහැපත්.

එදා රෑ ආපහු වෙද ගෙදරට ගිහින් මේ තරුණයා තමන් දැකපු රාජ කුමාරිකාවක් වගේ ලස්සනම ලස්සන ගම දුව ගැන නින්දක් වත් නැතුව කල්පනා කලා.

කවුද දන්නේ අපේ ගම දුවටත් එහෙමම වුනාද කියල, නේද?. ඉතින් දන්නා කෙනෙක් ඉන්නවනම් පහලිං ලියල යන්නකෝ.

(මතු සම්බන්ධයි)

ප: ලි: සමහර විට ඔයා මේ කතාව අහලත් ඇති. ඒත් කමක් නැහැ, කියවල බලන්නකෝ. කවුද දන්නේ මේ කතාව කොහොම කෙලවර වෙයිද කියලා, නේද? මමනම් කැමතියි "ඊට පස්සේ ඒ ගොල්ලෝ ගොඩාක් සතුටින් බොහෝම කාලයක් ජිවත් වුණා" කියලා ඉවර වෙනවනම්. ඒත් හැම කතාවක්ම එහෙම ඉවර වෙන්නේ නැහැනේ.  නේද?

මේ කතාව ලියන්නේ මම නිසා බලමුකෝ...හැමදාම වරද්ද ගත්තා වගේ වරද්ද නොගෙන ඉන්න... ඉස්කොලේ හාමිනෙත් මට උදවු කෙරුවොත් ඒ වගේ සතුටුදායක අවසානයක් මේ කතාවට එකතු කරන්න පුළුවන් වේවි. 

Sunday, December 18, 2011


කොල්ල කාලේ කවි ලිව්වට දැන් මහලු මැදි වයසේ... බැරිය කවි රචනා පෙරසේ...
අද හවස් වරුවේ කවි බ්ලොග් දෙක තුනක් දැකල මටත් කවියක් ලියන්න හිතුන. හතර පදයක් ලියනවද, නිසදැසක් ලියනවද, එහෙමත් නැත්නම් කාටවත් නොතේරෙන බහු බූත මොනවා හරි ලියනවද කියල හිත හිත ඉඳල ඒ ඔක්කොම අදහස් පැත්තකට දාල පුරුදු විදියට මේක කොටන්න ගත්තා. බැරි වැඩ කරලා තියෙන අවනම්බුවත් නැති කර ගන්නේ මොකටද? නේද?

අද කරණා දෙකක් ලියන්න තියෙනවා.
එක. ඇයි ඉස්කෝලෙ හාමිනේ ඔයාටත්, මට නිතරම ඔයාව මතක් වෙනවා වගේම, නිතරම මාවම මතක් වෙන්නේ? උදේ නැගිටපු වෙලාවේ ඉඳල මුළු දවසම මගෙ හිතේ ඉන්නේ ඔයා. ඒ ගැන හිතන කොට මට හිතා ගන්න බැහැ අපි ඊළඟට කොතෙන්ටද යන්නේ කියල. හැමදාම දෙපැත්තකට වෙලා අපි අපි ගැනම හිත හිත ඉන්නවද? මේක හරිම පිස්සුවක් කියල ඔයා මට එවපු ලියුමක තිබුන. ඒ, ඒ දවස් වල ඔයා මම ගැන හිතපු හැටි. දැන් ආයෙත් අපි දෙන්න ම ඒ කාලෙට ගිහින්. 1990 තිබුන පිස්සුවට ඔයා මට දුන්න බෙහෙත ඒ දවස් වල හරි ගියා. ඒ නිසාම ආයෙත් කවදාවත් ඔයාගේ “හැමදාමත් මෙහෙම අපට වැරදිලා ඇති..” බෙහෙතට මම රැවටෙන්නේ නැහැ. මම මේ පිස්සුවට ආසයි ඉස්කෝලෙ හාමිනේ. මට හිතෙනවා ජීවිතේ පළමුවන වතාවට මම ආදරය කරන්න පටන් අරන්ද කියලත්. මෙහෙම හැඟීමක් මට මීට කලින් දැනුන බවක් මගේ වැඩිහිටි මතකයේ නැහැ.

දෙක. අද උදේ 8:30 ට විතර මට ඇහැරුනේ ඔයාව හීනෙන් දකිමින්. ඇහැරුනාට පස්සේ මම ඔයාගේ මුහුණ මතක් කරගන්න කොච්චර උත්සහ ගත්තත් මට පැහැදිලි රූපයක් මවා ගන්න ම බැරි උනා. දැකපු හීනේ තමයි ඔයයි මායි දෙන්න උඩ තට්ටුව ඇරපු තට්ටු දෙකේ බස් එකෙක මොනරාගල යනවා. එකේ ආසන වෙනුවට තිබුනේ අල්ලගෙන යන්න වැටවල් විතරයි. blah, blah, blah,... ඉතින් මට ඉස්කෝලෙ හාමිනේගෙන් උදව්වක් ඕනෑ. කරුණාකරලා මට ඔබ තුමියගේ ඡායාරූපයක් ඔය ඉන්ටෙර්නෙට් තියෙන දුරකතයෙන්වත් අරගෙන එවනවද? එතකොට මට උදේට නැගිට්ටම වහල දිහා බලාගෙන කල්පනා කර කර ඉන්න ඕනේ නැහැනේ, please.    
මට හොඳටම පිස්සු වගේ කියල හිතන්න කලින් අදට නවතින්නම්.

මගෙ සිහිනය මට දකින්න (විතරක් නෙවෙයි, පහුවදාට මතක කරගන්නත්) ඉඩ හරින්න...

Friday, December 16, 2011


මම සිහින දකිමි. ඒවා සිහින පමණක්ම නොවේවායි පතමි.

සිහින 1. බොහෝ කලක සිට හිත හිතා සිටි පරිද්දෙන්ම මට ජපානයට ස්ථාන මාරුවක් ලැබී ඇත. ඉදිරි වසර දෙකක කාලය භුමි කම්පා වලට කම්පා නොවෙමින් ගෙවන්නට ජපානයට පැමිණියෙමි. නගරයෙන් තරමක් බැහැර කුඩා නිවසක නවතැන් ලබී ඇත. ඉස්කෝලෙ හාමිනේ ද ඒ අතර ජපානයට කෙටි කලකට පැමිණ ඇත.

සිහින 2. සතියක මුහුදු ගමනකට  මා සමග ඒක වීමට ඉස්කෝලෙ හාමිනේ කැමති වීමටත් වඩා ඒ සඳහා වෙලාව සොයා ගැනීම ගැන මට පුදුමය. නමුත් ඊයේ අප දෙදෙනා කැනඩාවේ වැන්කුවර් වරායෙන් පිටත්ව දැන් ඇලස්කාව බලා ගමන් කරමින් සිටින්නෙමු. ඈතින් හිමෙන් වැසුන කඳු මුදුන් පෙනේ. අප කුඩා දූපත් අතරින් යාත්‍රා කරමින් සිටී. නැවේ මගීන් දෙදහසක් පමණ සිටිතත් එකෙකුටවත් අප ගැන වගක් නැත. අප දෙදෙනා ගොඩබිම දෙසට මුහුණ ලා ඇති විශාල විදුරු ජනේලයක් අසල සිටගෙන සිටින්නෙමු. මා ඔබගේ ඉණ වටා අත යවා තුරුලු කරගෙන සිටිමි. ඔබ ඔබේ හිස මා උර මත රඳවා ඇත. අප දෙදෙනාම නිහඬව පසුවී යන දර්ශනය දෙස බලා සිටින්නෙමු.

සිහින 3. මෙහි ලිවිය නොහැක. අතිශයින්ම වැඩිහිටියන්ට පමණි. කවදා හෝ අප මුණගැසුන දිනක අමතක නොකර අහගන්න.

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න... 

Wednesday, December 14, 2011


මා දයාබර ඉස්කොලේ හාමිනේ වෙත ලියා දන්වන වග නම්,

අද උදැහැනක්කේම ඇමතුවාට බොහොම ස්තුතිය. හැමදාම එහෙම කරන්න තිබුනානං කොච්චර හොඳදැයි සිතුනාය. ඒත් එහෙම කරන්න බැරි බව මතක් උනාම දුකය. කාලාන්තරයකට කලින් වරැද්ද ගත්තා හින්දා දැන් විඳවනවාය. ලබන ආත්මයේවත් එසේ නොවෙවායි පතමිය. ලබන ආත්මයේ ඉපදෙන්නනම් මැරිය යුතුය. ආයෙත් මනුස්ස ලෝකයේම ඉපදේ දැයි ෂුවර් නැති නිසා  ඉස්කොලේ හාමිනේ නොදැක මැරෙන්නත් බැරිය. දවල් හීන දකිමින් වත් හිත හදා ගන්න පුරුදු වෙන්න ඕනෑය.

අද රස්සාවට යනවිට ඉස්කොලේ හාමිනේ මා එපා යයි කිවූ කාලයේ, එනම් අතුගල්පුරයට ගිය සන්දියේම ලැබුණ පෞරාණික හසුන පත් මිටියකුත් රැගෙන ගියෙමිය. ඒවා කියවන විට මට වැරදුනේ ඇයිදැයි සිහියට ආවාය. පරණ මෝඩකම් මතක් වී මට මා ගැනම තරහය. මූනත් එක්ක තරහ වී නහය කපා ගැනීම ඊටත් වැඩි මෝඩ කමක් නිසා යන්තම් නහය අතගා ගෙන එම ලියුම් ඉරා දැමීමට තීරණය කලෙමිය. මේ ගැන වැඩිදුර විස්තර කතා කරන විටක කියන්නේමිය. එතෙක් ඉවසා වදාරන්න යැයි ඉල්ලමිය.

ඉස්කොලේ හාමිනේ දැන් අහන්න යන්නේ මොනවාදැයි මට හිතා ගන්නට ඇහැකිය. ඒ, මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබුණාදැයි කියා බව මට ෂුවර්ය. මේ අඹ ගසත්, තවත් අඹ ගසුත් හැර තවත් බොහෝ ගස් තිබුණා ය. සංසාරේ ඇවිද යන ගමනේ දී මේ අඹ ගස නැවත හමු වෙන්නට පෙර අනෙක් අඹ ගස් අනේක වාරයක්  මුණගැහුණාය. නමුත් මේ අඹ ගස තරම් සසර හුරු බවක් දැනුනේ නැතිය. ඇත්ත කියන්නට ගොස් මේ අඹ ගසේ ගෙඩිත් තිත්ත වේදැයි බයකුත් හිතෙනවාය. මෙහෙම කියන්නෙත් මෙහෙම කියන්න තරම් ආදරයක් ඇති නිසාය. මෙතෙක් කලක් මට මේ දේවල් කියාගන්නට කිසිවෙක් හිටියේ නැතිය. යලිත් කවරදාවත්  ඉස්කොලේ හාමිනේ මා හැර නොයාවියයි පතමින් අදට නවතිමිය.

ඒ වගත් මෙසේම.....

Tuesday, December 13, 2011


දයාබර දීපා,

අද miss calls 3 ක්. මොකද මේ වෙන්න යන්නේ? ආදරය අන්ධ විතරක් නෙවෙයි, අවදානම ගැන තියෙන අවදානයත් නැති කරලද? දීපා, අමතක කරන්න එපා බබෝ, අපි දෙන්නම ඉන්නේ 1990 හිටපු නිදහස් තනිකඩ ලෝකේ නොවෙන බව. ඒ දවස වල අපිට වැරදුනා කියල අපි දෙපැත්තක් බැලුවට දැන් තමයි අපිට වරද්ද ගන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩි. අපි තව චුට්ටක් විතර පරිස්සම් වෙමු නේද? හයියෙන් දිව්වොත් ඉක්මනට හති වැටෙනවා. හිමින් ගියොත් ගොඩක් දුර යන්න පුළුවන් විතරක් නෙවෙයි, වට පිට ලස්සන බලන්නත් පුළුවන්. ම්...

ඉස්කෝලේ හාමිනේ, ඕකට තරහ ගන්න ඕන නැහැනේ. අන්න එහෙම හිනා වෙලා ඉන්න. ඔයා එහෙම හිනා වෙලා ඉන්නව බලන්න මට කවද පුළුවන් වෙයිද දන්නේ නැහැ. බලමුකෝ, ඉක්ක්මනටම ආයෙත් ලංකාවට ඇවිත් යන්න. ඒ ආවත් අපි පොඩි කාලෙටත් වඩා දැන් අපි වටේ වැට කඩොලු. ඊයේ කියපු දේම තමයි කියන්න තියෙන්නේ. ආදරයට කොහිදෝ බාදා නැත්තේ. මම ඉන්න සීතල රටේ නම් බාදා අඩුයි. නැත්තේමත් නැහැ. අපේ ලංකාවේ එවුන්ම ඇති දැක්කොත් කතාවක් හදන්න. ඔප දුප ගිනි ගෙඩි වල් පල් මරුවෝ.

හොඳ ළමය වගේ ඉක්ක්මනට ඉන්ටෙර්නෙට් ගන්න. හරි හරි ඔයාගේ ෆොන් එකේ ඉන්ටෙර්නෙට් තියෙන බව දන්නවා. එ උනාට කෝ තවම e-mail බලන්නවත් බැහැනේ. ඉක්මනට ඒ ටික හදාගෙන මට කියන්න. මටත් පිස්සු... ඔයා ඉන්ටෙර්නෙට් ගන්න කම් මේ බ්ලොග් එක බලන්නත් නැහැනේ. කමක් නැහැ, අනාගතයේ කවද හරි ඔයා බලපු දවසක මතක් කරගන්න මේ පොස්ට් ඒක අතීතයට අදාල බව. ඒ අනාගතය ඉක්මනටම වර්තමානය වේවා!

එතෙක්, ජීවිතය සුන්දරයි, සතුටෙන් සිටින්න. ඊට පස්සෙත් ජීවිතය තවත් සුන්දර වේවි, සතුටෙන්ම සිටින්න ලැබේවි.

Monday, December 12, 2011


දයාබර දීපා,

මොනවා වෙලාද මන්ද, අද මගේ note pad එක වැඩ කරන්නේ නැහැ. ආදරයට කොහිදෝ බාධා නැත්තේ? ඉතින් කොහොමද දීපා? කොහොමද ඇහුවට උත්තරයක් දකින්න තව ගොඩක් කල් බලන් ඉන්න වෙයි නේද? අලුත් අවුරුද්දේ අලුත් ඉස්කෝල වාරය පටන් ගත්තම වත් අපි ආපහු කතා කරමු. හැමදාම miss-call කරලා ඔයාට කරදරයක් කරන්න බැහැ. ඔබ තුමියත් ඒක තේරුම ගත්තොත් තමා හොඳ. එහෙම නැතුව මම කතා කරේ නැහැ කියල අමනාප වෙන්න ඔට්ටු නැහැ, හරිද?

ආදරේ හරිම පුදුම දෙයක්. ඔයා එක්ක කතා කරන්න ගත්ත දා ඉඳං මගේ හිතේ හැම වෙලාවේම ඉන්නේ ඔයා. අඩුම තරමින් අපි දෙන්න එක ළඟ වාඩිවෙලා ගමනක් වත් ගිහින් නැහැ නේද? ඔයාගේ රූපය මගේ හිතේ ඇඳිලා තියෙන්නේ අවුරුදු 21 ක් පරණ මතක සටහන් උඩ. "ච" කියපු විදියට ඔයා තවම වෙනස් වෙලා නම් නැතිලු. ඒත් උගේ කතා විස්වාස කරන්නේ කොහොමද? ඔයා ගැන කියනකොට ඌ මටත් වඩා එක්සයිට් වෙලා. Heart rate එකත් නැගලා තියෙන්න ඇති. මූණු පොතේ වත් ඔයාව දැක ගන්න තිබුන නම් අපුරුයි. ඒ වරදත් හිමිහිට හදා ගන්න බලමුකෝ.   

මගේ මතකය හරිනම් මම ඔයාව දැකල තියෙන්නෙත් දවස් 3 ක් හෝ 4 ක් හෝ විතරයි. දශක දෙකකින් නොදුටු ඔයාට ඇයි මම ආදරය කරන්නේ? අසම්මත්යටත් එහා ගිය වෙන මොනවා හරි දෙයක් අපේ දෛවයේ තියෙනවා වගේ. අපි අදටත් ඉන්නේ ලෝකේ දෙපැත්තේ. ඒ උනාට මම දන්නවා මම කතා නොකරන නිසා ඔයා හිත නරකින් බව. ඔයාට කතා කරගන්න බැරුව මමත් ඉන්නේ කනස්සල්ලෙන්. බලමුකෝ මහ බඹා අපේ නළල් වල කොටලා තියෙන හැටි. මැරෙන්න දවසක් තියා හරි ඔයාව දකින්න ආසයි කියල ලියන්න හොඳ නැහැ, මොකද දන්නවද, මැරෙන්න කලින් එක දවසකට වඩා ඔයාව දකින්න මට ඕන නිසා.

අපි ආයෙත් මුණ ගැහෙන දවසක් එන කම් අපි මතක තියා ගනිමු, ජීවිතය සුන්දරයි, සතුටින් ඉඳිමු.

Sunday, December 11, 2011


දයාබර දීපා,

දවස් තුනක්ම ඔයාට ලියුවේ නැත්තේ මට වැඩ වැඩි නිසා නෙවෙයි. ලියන්නේ මොනවද ලියල හිතා ගන්න බැරිවුණා නිසා. ඔය කතා කරපු වෙලාවලට මට උත්තර දෙන්න බැරි උනාට ඔය අමනාපෙන් බවත් මට නොතෙරුනාම නොවෙයි. ඒ උනත් මම හිතනවා ඔයා තේරුම් ගනීවි කියල මගේ තත්වයත්. ඔයාට කියුව වගේම මම මගේ නයිජිරියන් යාලුවට ඔය ගැන කියුවා. උත්තරේ මම බලාපොරොත්තු උනාට වඩා වෙනස්. ඒකි කියනවා අයෙත් ඔයාට කතා කරන්නත් එපාලු. ඔය කළු කෙල්ලන්ට තේරෙනවද අපි හිතන විදිය, නේද? මට හිත ගන්න බැරි උනා මම ඔයාට මොනවද ලියන්නේ කියල දීපා.

මම බලාපොරොත්තු උනාටත් වඩා ඉක්මනට ඔයා මට ආදරෙයි කියපු ඒක අදටත්  මට හිතා ගන්න බැහැ. ඇයි බබෝ ඔයා ඔය ටික කියන්න අවුරුදු 21 ක් ම බලා හිටියේ. අපි මේ අවුරුදු 21 ට ගොඩක් දුර ඇවිල්ල. අපිට ආපහු හැරෙන්න පුලුවන්ද? ඇයි අපිට මෙහෙම උනේ? දැන් දවස් දෙකක ඉඳං අපේ ගෙදර උන්දැ මාත් එක්ක කතාවක් නැහැ. මම හොඳටම රන්ඩු වෙලා. මට මොකද වෙලා තියෙන්නෙ දීප්ති? මගේ හිතකවත් නැහැ මම මගේ පොඩි උන් දෙන්න ගෙන් වෙන් වෙලා ඔයා ලඟට එනවා කියල. ඔය ඔයා ගේ ළමයින්ට ආදරේ වගේම මමත් මගේ පොඩි දෙන්නට කොච්චර ආදරේද? ඔය කියුව වගේ හැමදාමත් අපිට වැරදිලාද?

ආපහු ලංකාවේ ඉස්කෝල පටන් ගත්තට පස්සේ වත් අපි ටිකක් නිදහසේ කතා කරමු නේද? මට තේරෙනවා ඔයාගේ හිතේ පුංචි වෙනසක්. please Deepaa, ටිකක් තේරුම් ගන්න. මට පුළුවන් කමක් තිබුන නම් ඔයාව බලන්න මම ඇවිත් ගොඩක් කල් . හොඳ වෙලාවට මම  ලංකාවේ හිටියේ නැත්තේ නේද? මම ලංකාවේ හිටිය නම් සමහර විට අපි දෙන්නම ලොකු කරදරේක වැටිලා. මට ඔයාව දකින්න කොච්චර ආසද කියල ඔයා දන්නේ නැහැ දීපා. ඒක දෙයක් නම් මට sure, ඔයා මාව අඳුර ගන්නේ නැති බව. ඉස්සර හූනෙක් වගේ හිටපු මම දැන් පිටි ගෝනියක් වගේ මහතයි.

ආදරණීය දීපා, please අපි ඉන්න තත්වය තේරුම් ගනිමු. අපිට අපේ දවස කවද හරි උදා වේවි. අපි දෙන්න ම හිතුවේ නැහැනේ අවුරුදු 21 කට පස්සේ අපි ආයෙත් මුණ ගැහේවි කියල නේද? අපි අපේ දවස එනකම් චුට්ටක් ඉවසීමෙන් ඉඳිමු.

එතෙක්, අමතක කරන්න එපා, ආදරය සුන්දරයි, සතුටෙන් සිටින්න.

Tuesday, December 6, 2011


කාලය  මැවූ වෙනසක අරුමේ...

දයාබර දීපා,

ගෑනු ළමයි ආදරේ කියන තව විදියක් මම ඊයේ හොයා ගත්තා. ඒ තමයි සුමාන දෙකක් කතා නොකර ඉන්නද අහන එක. හරි නේද?

It was a nice surprise. මම කොහොමටවත් බලාපොරොත්තු උනේ නෑ ඔයා ඒ වෙලාවේ කතා කරයි කියල. මම තවම ඒ ගැන හිතනවා. මීට අවුරුදු 21 කට කලින් මට දුක මගේ ගැන නෙවෙයි කියපු ඔයාට මගේ ගැන පුංචි පහේ ආදරයක් හිතිලා වගේ. අපිට කවදාවත් වෙනස් කරන්න බැරි නොගැලපීමක් අපි අතරේ තියෙනවා කියපු ඔයා ඒ වෙනස එච්චර ලොකු වෙනසක් නෙවෙයි කියල හිතන්න පුරුදු වෙන එක මට හරිම සතුටක්. අවුරුදු 21 ක් එක්ක බැලුවම අවුරුදු 4 ක කාලයක් කියන්නේ පොඩි කාලයක් නේද? ඉතින් දීපා, මීට පස්සේ වත්, හැමදාමත් වගේ වරද්ද ගන්නේ නැතුව ඉඳිමු නේද?

{හැමදාමත් මෙහෙම අපට වැරදිලා ඇති, මට දුක මගේ ගැන නොවේ... සනත් - තුං මං හන්දිය.} ඒකමත් එක කාලෙක මම ආදරය කරපු ළමයෙක් එහෙම ලියල තිබුන. ආයෙත් කවදම හරි ඒ මනුස්සයා මුණ ගැහුනොත් මම කියනවා හැමදාම වැරදුනා කියල හිතපු සිතුවිල්ල වැරදියි කියල. ඔව්...ඔව්..ඔව්... :)

අද දවසම වැහි අඳුරෙන් පිරිලා. හෙට ස්නෝ වැටෙනවා. සමහර අය වගේ නෙවෙයි, මම කැමතිම කාලගුණයක් තමයි ස්නෝ වැටෙන්න කලින් තියෙන අඳුර. මට මතකයි මම දවසක් ඒ ගැන කිව්වා මම එක්ක හිටපු නයිජීරියන් කෙල්ලෙකුට. ඒකි මගේ clinical partner. ඒ දැරිවි තමා කිව්වේ ස්නෝ වැටෙන්න කලින් තියෙන අඳුර හරිම romantic කියල. අපි දෙන්න උපාධි අරන් දෙපැත්තට නොගිහින් හිටියනම් මට දීප්ති ගැනත් ඒකි එක්ක කතා කරන්න තිබුන. හෙට බලන්න ඕන phone number එක හොයා ගන්න. මම අද දවසම කාමරේ ඇඳට වෙලා ජනේලෙන් එලිය බලාගෙන හිටිය. පිස්සුද මන්ද?

හෙට එලිය වැටෙන්නත් කලින් ගෙදරින් ගිහින් ආපහු එන්න තියෙන්නේ රෑ උනාට පස්සේ. ඒත් අදත් නිදා ගන්න ඉස්සෙල්ල සුමාන දෙකක් කතා නොකර ඉන්න ගෑනු ළමයට කතා කරන්න බලන්නම්කෝ.

අපිට හැමදාම වැරදුනේ නෑ දීපා.

Monday, December 5, 2011


දයාබර දීපා,

තවත් දවසක්. අද ඔයා කතා නොකරන බව මම දන්නවා. ඒ හින්දද මන්ද පාළුවක් දැනෙන්නෙ. ඔයා කතා කරයි  කියල හිතුන නම් මම බලාගෙන ඉන්නවනේ. එක අතකට හැමදාම කතා නොකරන එකත් හොඳයි. අපි අපේ ගැන අමතක කරන්න හොඳ නැහැ නේද?

මීට අවුරුදු 21 කට කලින් නියපොත්තෙන් කඩල දාන්න හදපු ආදරය නේද අද මහා ගහක්  වෙලා අතු පතර විදහා ගෙන අපිට හෙවන දෙන්නේ. 1990 නියපොත්තෙන් කඩල දැම්මත් අපිට අපේ ආදරයේ මුල් ගලවන්න අමතක වෙන්න ඇති. එක අතකට දෛවය කියන්නෙත් මේකම වෙන්න ඇති. ඔයා හමුවෙලා මාසයක්වත් යන්න කලින් අපි වෙන්වෙලා ගියා. ඊට පස්සේ අපි හමු උනේ එකම එක පාරයි. දැන් මම මොන වගේද කියලවත් ඔයා දන්නේ නැහැ. ඒත් අපි දෙන්නම විනාඩි දෙක තුනක් හරි කතා කරන්න බලා ඉන්නවා.

මට ආසයි අපි අන්තිමට හමුඋනාට පස්සේ ඔයාගේ ජීවිතය ගෙවුණු හැටි අහන්න. ඔයාගේ හස්බන්ඩ් හමුවෙච්ච විදිය, ඔයා දැන් ඉන්න පළාතට ආපු හැටි, රස්සාව පටන් ගත්ත හැටි, කොච්චර දේවල් තියෙනවද? ඊළඟට කතා කරන දවසට මේ ඔක්කොම කියන්න. බකමුනි වගේ හ්ම් හ්ම් ගාන්නේ නැතුව. තරහ ගියාද බකමුනි කිව්වම? දන්නවද, ඔයාට තරහ ගියාම ඔයාගේ සුදු මුණ රතු වෙලා තවත් ලස්සන වෙනවා.

තව දෙයක් කියන්න තියෙනවා. දන්නවද, මෙච්චර කල් මම කාර් රේඩියෝ එකේ ඇහුවේ නිව්ස් විතරයි. දැන් මිල්ටන් ගේ සින්දුත් අහනවා. ජිවිතෙන් බාගයක්ම ගෙවිලා තිබුනත් ආදරේ ඉස්සරහ බොළඳ වෙලා නේද? ඕන දෙයක් කියන්න, මගේ බොළඳ කම මට තිබුණාදෙන්.

ඉතින් දීපා, හෙටත් මම වැඩ. පාන්දර පටන් ගන්න ඕන. ඉක්මනට ඉන්ටෙර්නෙට් ගන්න එපා. ඔයා ඉන්ටෙර්නෙට් ගත්තොත් මේක බලන්න දෙන්න වෙනවනේ. මම ලියන දේවල් මට විතරක් තියාගන්නම් දැනට.

හැමදාමත් වගේ, ජීවිතය සුන්දරයි, සතුටින් සිටින්න.

Sunday, December 4, 2011


දයාබර දීපා,

සම්මතය කුමක් කීවත් යටි හිත බලාපොරොත්තුවෙන් හිටියේ ඔයාගේ ඇමතුමක්. ස්තුතිය් කතා කලට. කාමරයකට ගුලි වෙලා ඔයාව තුරුල් කරන් ඉන්න මට ඕන නැහැ. ඔය වගේ සරින් සැරේ මට කතා කරන්න. ඔයා කතා කරපු නිසා මට කොච්චර සතුටුද කියල ඔය දන්නවද?

මට කතා කරන්න බැරිඋන නිසා ඔයාටත් මට වගේම කනස්සල්ලක් දැනුන එක ගැන මම සතුටු වෙන්න හොඳ නැති උනත් ඒක මට සතුටක්. මට වගේම ඔයාටත් තරහ යන එක? අපිට මෙනවද වෙන්න යන්නේ? හොඳ වෙලාවට අපි දෙන්න ලෝකේ දෙපැත්තේ ඉන්නේ. එහෙම නොවුනානම් මම ඔයාව හොයාගෙන ඇවිත් අපි දෙන්නම ලොකු කරදරේක වැටිලා.

අද වගේම ආයෙත් මට කතා කරන්න දීපා. විනාඩි දෙක තුනක් උනත් කමක් නැහැ. ඉස්සර වගේ පුංචි දේවලට හිත රිදව ගන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්නම්. පොරොන්දුවක්‌ නෙවෙයි, හොඳද? තව ටිකකින් මමත් නිදා ගන්න ඕන. ජනේලෙන් එහා පැත්තේ ඇහෙන හුලන් සද්දේ අහගෙන, බිත්ති ඔරලෝසුවේ තප්පර කටුවේ සද්දේ අහගෙන ඇඳට වෙලා නිදි නැතුව ඉන්නේ නැතුව අද නින්ද යාවි.

ඔයා මට නොකීවට ඔයත් මට ආදරෙයි කියල මම හිතා ගන්නද?

දයාබර දීපා, ජීවිතය සුන්දරයි, සතුටින් සිටින්න.

මැදිවියට පත් උනත් ආදරය තරුණ වෙලා!

Saturday, December 3, 2011


මැදි වියද තරුණය...

දයබර දීපා,

ඔබ කිසි දිනක මේ ලිපිය නොකියවනු ඇත. කිසිවෙකුත් නොකියවනු ඇත. නමුත් මා සිත පෙලන අසහනකාරී තත්වය ලියා තැබිය යුතුයි සිතේ. ඒ සඳහා කිසිවෙකුත් කිසි දිනක නොකියවන බ්ලොගයක් හැර වෙනත් සුදුසු මාධ්ධ්යක් නැත. නමුත් මා සියල්ල ලිය තැබීමට උතසහ කරමි.

අද දෙසැම්බර් 4 වන ඉරු දිනය. පසු ගිය සිකුරාදා රාත්‍රියේ ඔබ කතා කරනු ඇතයි බලා සිටියෙමි. සෙනසුරාදා දහවල් ඔබගේ වේලාවෙන් 11 පසුවිය. මා ඔබ ඇමතුවේ 12 ට විනාඩි 5 ක තිබියදීය. ඔබ පොරොන්දු වු පරිදි 12 ට අමතනු ඇතැයි සිතා සිටියෙමි. තවමත් ඔබගේ ඇමතුම ආවේ නැත.

ඔබද විවාහකය. මමද විවාහකය. ඔබ මා අමතන තුරු බල සිටීම සාධාරණ නොවන බව මම දනිමි. අප දෙදෙනාම මැදිවියට පැමිණ ඇති බවද දනිමි. වසර 21 කට පසු යලි ඇසුන ඔබේ හඬ මගේ ආදරය තිරිහන් කර තිබේ. අද නොවුනත් හෙට හෝ යලි කෙදිනක හෝ ඔබ මා අමතන තුරු මම බලා සිටිමි.

වසර 21 ක් යනු කුඩා කාලයක් නොවේ.  ඒ කාලය තුල ඔබ දරුවන් තිදෙනෙකුගේ මවක් වී ඇත. ඔබේ දෙටු පුතුට වයස අවුරුදු 16 කි. මගේ දුවගේ වයස අවුරුදු 13 කි. අපගේ දරුවන්ට දෙමාපිය ආදරය අහිමි කරන්නට මා උත්සාහ කරනවා නොවේ. ඒ බව මා ඔබට කිව්වාදැයි මතක නැත. ඔබ යලි කතා කලොත් ඒ බව අමතක නොකර කියන්නෙමි. එහෙත් ඔබ යලි කතා නොකොළොත්... හොඳම දේ බලාපොරොතු උවත් නරකම දෙයට උවත් මම සුදානම්ව සිටිමි. Hope for the best... prepare for the worst.

ලියන්නට බෙහෝ දේ තිබේ. ඒ සියල්ලම කෙදිනක හෝ ලියා තබන්නෙමි. සෑම පෙම් හසුනක්ම ලියන්නාටත් ලබන්නාටත් හැර අන් සියල්ලන්ටම විහිළුවක් වන නිසා මේ බ්ලොග් අඩවිය සයිබර් අවකාශයේ අතරමංව පවතිනු ඇත. යම් දිනක ඔබට පමණක් එහි පිවිසෙන්නට මග හැර දෙමි.

දයාබර දීපා, යලිත් හෙට දිනයේ සටහනක් තබන තෙක් අදට නවතිමි.

ඔබට සුබ අනාගතයක්!