Monday, May 14, 2012

ඔබා මාමා මියගොස්ය.


ආදරණිය ඉස්කෝලේ හාමිනේ,

මාස ගණනකින් මම මේ බ්ලොග් එක ලිව්වේ නැත්තේ අපි හැමදාම වගේ කතා කරන නිසා. ඒත් අද උදේම දැනගත්ත ඉතාම කණගාටුදායක දෙයක් නිසා ආයෙත් ලියනවා. ඔබා කවුද කියල ඔයා අහලවත් නැතුව ඇති. මමත් කවදාවත් කතා කරලත් නැහැ. ඔබා කියන්නේ බ්ලොග් ලියන අය අතරේ හිටපු ඉතාම ප්‍රසන්න පුද්ගලයෙක්. මමත් කවදාවත් කතා කරලා නැති වුනත් මම ඔබා එක්ක බ්ලොග් වල කොමෙන්ට් හුවමාරු කරගෙන තියෙනව. ඔයාට ලියපු මේ බ්ලොග් එක නම ඔබා දැකල නැහැ. දැක්කනම් කියන දේවල් මට හිතා  ගන්නත් පුළුවන්.

ඔබා මාමා ගේ මරණය ගැන වැඩිදුර විස්තර කතාකරන වෙලාවක කියන්නම්. ඉතාම ළඟ හිතවතෙක් නැතිවුනා වගේ පාළුවක් දුකක් දැනෙනවා. තව ටික දවසකට මම බ්ලොග් කියවන එක නවත්තලා දානවා. මට හරිම දුකයි දීපා. ඔබා මාමා හරිම නිහතමානි මිත්‍රශීලි මිනිහෙක්. නිතරම විනෝදෙන් හිටියේ. ඒ බව එයාගේ දුවත් ලියල තිබුනා. ඔබා නැති පාඩුව නැවත පියවෙන එකක් නැහැ.

මම වගේම පළමුවෙනි පරම්පරාවේ කෙනෙක් විදියට ඔස්ට්‍රේලියාවට ගිය දවස් වල දුක විඳලා මහන්සියෙන් ජීවිතය ගොඩගන්න ඇති. ඒත් ඔබා හැමදාම කිව්වේ පරණ රසවත් කතා විතරයි. හරිම සුන්දර මිනිහෙක් සමුඅරන්.



මට හිතෙනවා මටත් ඔබා වගේ සැහැල්ලු ජිවිතයක් ගෙවන්න ලැබෙනවානම්....

එහෙම වුනොත් ජීවිතය සුන්දර වේවි.... සතුටින් ඉන්න ලැබේවි.

Saturday, January 14, 2012

සමනල රෑනක් සේ...

මතකද මම එක තැනකදී ලිවුවා මට විවාහක දෙදරු මවකගෙන් ලැබුන ආරාධනාවක් ගැන. ඒකෙම මම ලිවුවා මතකද අපි පේරා ගිය දවසක් ගැන. අපි දෙන්න මහා වැස්සක පුංචි කුඩයක් යටින් ආපු හැටි. කුඩේ මිට අල්ලගන්න ඉඩ නැතුවද මන්දා, එයා මගේ අතිනුත් එක්ක අල්ලාගෙනයි ගියේ. එදාම තමා මට තේරුනේ මේ ළමය එකට වැඩ කරන කෙනෙකුට වඩා යමක් මගෙන් බලාපොරොත්තු වෙන බව.


ඔය trip එක ගිය දවසේ අපි උදේ ඉඳලම මතට තිත තියල ඒ කාලේ ජනප්‍රිය වෙලා තිබුන sunflowers ලගේ සින්දු එහෙම කියා කියා තමයි ගියේ. මතකද අර යක්කු ගැන එහෙම සින්දුවක් තිබුණා. එ අතරේ අපෙන් වැඩි පෙරැත්තයක් එහෙම නැතුව මේ මාගම සමනල රෑනක් සේ... (original version) (new version) සින්දුව කිවුවා. අපි කවුරුවත් නොහිතපු තරම් බොහොම ලස්සනට කිවුවා. මෙයා සින්දු කියනවා මීට කලින් කවුරුවත් අහල තිබුනෙත් නැහැ. මම වගේම අපි එක්ක ගිය අනිත් අයටත් මේක හරිම පුදුමයක් බව ඒ වෙලාවේ ඇතිවෙච්ච නිහඩතාවයෙන් දැනුනා.


සමහර විට කියන්න තියෙන දෙයක් කියන්න කාටත් පොදු සින්දුවක් පාඩම් කරගෙන එන්න ඇති නේද? මමත් ඔයාට කියන්න තියෙන දේවල් කියන්න කාටත් විවුර්ත බ්ලොග් එකක් ලියන්නේ එකනේ.

ඔයාට පුදුමයිද මට තාමත් මේවා විස්තර ඇතුව මතක තියෙන එක?

Friday, January 13, 2012

ඉතින් ආයුබෝවන්....

දයාබර ඉස්කෝලේ හාමිනේ,

ඔයාගේ යාළුවා ඔයාට කිවුවා වගේම මේ බ්ලොග් එකට comment එකක් ලියපු ගෑනු ළමයෙකුත් ලියල තිබුන අපි කරන මේ වැඩේ භයානක බවත් කිසිම තේරුමක් නැති වැඩක් බවත්. ඔය එක්ක අද උදේ කතා කරපු වෙලාවේ මට හිතුනේ ඔයාටත් එහෙමම හිතිලා වගේ. ඔයාට මම මුලදීම පොරොන්දු වුනා වගේ මම ඔයාට කරදර කාරයෙක් වෙන්න වත් ඇනයක් වෙන්න වත් කිසිම බලාපොරොත්තුවක් නැහැ.

මේ සැරේ නම් මට හිතාගන්න පුළුවන් අපිට වැරදුන තැන. අපි ඉක්මන් වුනා වැඩියි. සමහර විට අපි හමු වුනේ අවුරුදු 21 (මේ මාර්තු මාසෙට 22 යි) කට පස්සේ නිසා අපි හදිස්සි වුනාද කියලත් හිතෙනවා. කමක් නැහැ දීපා, අපි ටික දවසක් දුරස් වෙලා ඉඳිමු. එතකොට අපිටම තේරුම් ගන්න පුළුවන් වේවි ඇයි අපිට මෙහෙම වරදින්නේ කියන එක වගේම ඔයාට තවදුරටත් මට ආදරය කරන්න පුලුවන්ද කියන එකත්.

ඔයාට හිතන්න ටික කාලයක් ඕනනම්, තව දවස් තුනකින් මම මේ බ්ලොග් එකත් වහල දාන්නම්. කවදා හරි ඔයාට හිතුනොත් මට කතා කරන්න, ඔයාට කැමති ඕනෑම වෙලාවක මට කතා කරන්න. මමත් ඉඳල හිටලා ඔයාට කතා කරන්නම්.     

මේ භවයෙදි මුලු දිය දායේ
එකතු නොවනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහා සාගරයක් වුයේ

මොනවා වුනත් අමතක කරන්න එපා, මම හැමදාම කිවුවා වගේ... ජීවිතය සුන්දරයි, සතුටින් සිටින්න.

කලින් ලියන්න අමතක වෙච්ච් තවත් එක අඳුරු කතාවක් තියෙනවා මම අදටත් පසුතැවිලි වෙන. ඒක මීට අවුරුදු 25 කට විතර කලින් දවස් 3-4 ක් ඇතුලත වෙච්ච සිදුවීමක්. ඔයාට මගෙන් වෙන් වෙන්න ඕනනම් ඒක හෙට කියවලා බලන්න. ඕනවට වඩා විවුර්ත වීම මෝඩ කමක් වෙන්න පුළුවන්. ඒත් මට මගේ හිතත් සැහැල්ලු කරගන්න (එහෙම වෙනවනම් කොච්චර හොඳයිද?) ඕන නිසා ලියන්නම්.

Thursday, January 12, 2012

ආයෙත් ගම කතාවට...

ගම කතාව එහෙම පිටින්ම අමතක වෙලා නෙවෙයි. වෙන වෙන දේවල් ලියවෙනවා.


ගම දුවවයි වෙද ගෝලයයි මුණ ගස්සවපු මන්තර කාරී දැනගෙන හිටියද දන්නේ නැහැ; වෙද ගෝලය ගම දුව ඉපදිලා බහ තෝරලා ඇඳුම තෙමා ගන්නේ නැතුව තමන්ගේ වැඩ කරගන්න දන්නා කියන කලේ තමයි ඉපදිලා තියෙන්නේ. වෙන විදියකට කියනවනම්, ගම දුව ඉපදිලා අවුරුදු හතරකට පස්සෙලු මේ කොල්ල ඉපදුනේ. ඒත් ඉතින් මේ කාලේ වෙනකොට මේ දෙන්නම ගැටවර වයස ගෙවල තරුණ වයසට ඇවිල්ලනේ තිබුනේ. මන්තර බලයද එහෙමත් නැත්නම් සංසාරේ පතාගෙන ආපු පුරුද්දක්ද මන්ද, වෙද ගෝලය නැවතිලා හිටපු ගෙදර ගෑනු ළමයි හත් දෙනෙක්ම ඉන්දැද්දී ගම දුවටම හිත ගියේ. ඕක මොකක්ද, හිම කුමාරිත් කුරුමිට්ටෝ හත් දෙනෙක්ම ඉන්දද්දිනේ රජ කුමාරයට කැමති වුනේ. හිම කුමාරි සිහිය නැතුව හිටපු එකයි සහ කුරුමිට්ටෝ හත් දෙනාම කුරුමිට්ටෝ වෙච්ච එකයි ඇරුනාම මේ කතාවේ වෙනසකට තිබුනේ වෙද කොල්ල සිහියෙන් හිටපු එකයි කෙල්ලෝ හත් දෙනා ගම දුව තරම්ම ලස්සන නැතත් ඇහැට කනට පේන ඇහෙන වුන් වෙච්ච එඅකයි ඇරුනම ලිංග බේදය විතරයි. මන්තර කාරියි ගම දුවයි ඇරුනම ගමේ හිටපු අනිත් හැමෝම හිතාගෙන හිටියේ වෙද ගෝලය ඔය ගෙදරින්ම කසාදයක් කරගෙන ඔය ගමීම බින්න බහීවි කියල තමයි. ඒත් ඉතින් එහෙම වුනානම් දැන් මේ කතාව ලියන්න කතාවක් ඇතිවෙන්නේ නැහැනේ. මෙන්න මෙහෙමයි කතාවේ ඉතුරු ටික.


 වෙද ගෝලයාගේ අප්පච්චි කිසිම කැමත්තක් තිබුනේ නැහැ තමන්ගේ පුත්තරය මේ ගම මැද්දේ ඉන්නවට. හැම අප්පච්චි කෙනෙක් වගේම ඒ අප්පච්චිත් බොහොම උත්සහ කරලා පුත්තරයට නගරයක තිබුන වෙද ගෙදරක් හොයා ගත්ත. දැන් කාලේ වගේ නෙවෙයි, ඔය දවස් වල තමන්ගේ තාත්ත කිව්වොත් කියන ඕන තැනකට යන්න දරුවෝ සුදානම්. ඉතින් අනේ අපේ වෙද ගෝලයත් ගම ඇරලා යන්න සුදානම් වුනා. මේක දැනගත්ත ගම දුවට හරියට දුක හිතුන. ඒත් අදටත් කවුරුවත් දන්නේ නැහැ ඇත්තටම ගම දුවට හිතුන දේවල්. සමහරවිට උණු හින්ද බොන්නත් බැහැ, කිරි හින්ද අහක දාන්නත් බැහැ වගේ දෙයක් වෙන්න ඇති. අනේ අපේ ගම දුව දවස් ගානක් හිතුවා හිතුවා වෙච්ච් දේවල් ගැන. කඩවසම් නොවුනත් කොල්ලත් කෙල්ලෙකුගේ හිත දිනා ගන්න බැරිම තරම් කෙනෙක් නෙවෙයි. ඒ වුනාට කෙල්ල නම් රූප සුන්දරියක්නේ.


This is not working... I don't think I can write anymore... sorry.  

Wednesday, January 11, 2012

අනේ සුසානෝ

අනේ සුසානෝ අපි දෙන්නට දෙන්න

ආයෙත් කවදාක හරි හමු වෙයි නේද

එහෙම හිතෙනකොට මට හොඳටෝම දුකයි

හැමදාමත් අපටම වැරදුනේ මොකෝ


කාලය ගෙවී කෙස් ඉදිලා බරත් වැඩි

ඇඟේ හැප්පුනත් අපි අඳුරන් නැහැනේ

තවත් වසර විස්සක් මෙහෙමම ගෙවුනොත්

සතුටින් ඉන්න වෙන්නේ ස්වර්ගයේ තමා

- රංචාගොඩ පීටර්

Tuesday, January 10, 2012



මෙන්න මම ඔයා ගැන හොයපු බවට සාක්කි.
මේ ලියුම් මම හිටපු බෝඩිමේ නංගිගෙන්. ඔයාට මතකද මන්දා, ඔයාගේ ගමේ උදවිය කිවුවේ ඔයාගේ ගමට ආපු කිසිම තනිකඩයෙක් ආපහු යන්නේ නැහැ කියලයි. ඒත් ඔයා මට අකමැති වුන නිසා මට ඒ වාර්තාව කඩන්න වුණා. ගෑනු ලමයිම 7 දෙනෙක් හිටපු ගෙදර 6 වෙනි ළමය තමයි මට විස්තර එව්වේ. පව්. මට දුක ඇති නේද කියලත් අහලා.
ඒ ළමයි වත් මගේ ගැන අදහසක් තියාගෙන හිටියද දන්නේ නැහැ. ඒක දවසක් ඒ ගෙදර ලොකුම අක්ක මගේ කුලය මොකක්ද කියල නම් ඇහුවා. මම දැනගෙන හිටියේ නැහැ එකට උත්තරේ. ඊළඟ සතියේ ගෙදර ගිහින් තමයි මමත් ඒක හොයා ගත්තේ. ඔයාටත් ඒ වගේ ප්‍රශ්න එහෙම අහන්න තියෙනවද ඉස්කෝලේ හාමිනේ?

මේ සින්දුවත් අහන්න.....

ඒත් අපිට මෙහෙම නේද වුනේ....



Monday, January 9, 2012

අවාසනාවන්ත කැහැටු කොල්ලාගේ කතාව

නව සංශෝධිත මුද්‍රනය
දෙවන කොටස.
ආරම්භය: මාසයකට පෙර.
ඉස්කෝලේ හාමිනේ මට ආදරය ප්‍රකාශ කලාට පසු...

අලුත් කතාව කොහොම කොහාට යයිද කියල තීරනය වෙන්නෙ ඔයා මත. මේ කතාව දැන් දවස් ගානක් තිස්සේ කියවලා ඔයා මම ගැන
මොනවා හිතාගෙන ඉන්නවද කියල මම දන්නෙ නැහැනේ. කැමතිනම් ඔයගෙ කනගාටුව, අප්‍රසාදය, හෝ බය... එහෙමත් නැත්නම් වෙන මොනවම හරි අදහසක් තියෙනවනම් කියන්න. කියන්න බැරි නම් මුකුත්ම නොකිය හිටියත් කමක් නැහැ. මම ඕන තරම් හිත රිදව ගෙන තියෙනවා.

phone numbers වෙනස් කරන්න කලබල වෙන්න එපා. අවුරුදු 21 ක් ඔයා අතුරුදහන් වෙල හිටිය වගේ, ජීවත් වෙන්න තියෙන ඉතුරු ටික කාලයට මම අතුරුදහන් වෙන්නම්. මගෙ බලාපොරොත්තුව කොහොමත් තව රටකට මාරුවිමක් හදාගෙන යන්න. එහෙම ගියොත් දැනට ඉන්න ගෙදරත් විකුනල තමයි යන්න වෙන්නේ. අවුරුදු 3 ගානෙ රටවල්
6 ක වැඩ කලොත් මගෙ pension එකට කාලේ හරි. pension ගත්තට පස්සෙ දැන් ඉන්න state එකේ ඉන්නත් මගේ අදහසක් නැහැ. වෙන කොහේ හරි tax අඩු state එකකට හරි එහෙමත් නැත්නම් මගෙ අදහසක් තියෙනව අප්‍රිකාවේ රටකට හරි යන්න.

ඔයා e-mail අරගෙන මේ බ්ලොග් එක කියවන කොට චිරාත් කාලයක් යන්න පුලුවන් වෙන එකත් බැලුවම හොඳ දෙයක් නේද? කිසිම දෙයක් හංගන්නේ වත් වෙනස් කරන්නෙ වත් නැතුව ලියල තියෙනවා. මට ඔයා හිතාගෙන හිටපු තරම් හොඳ අහිංසක මිනිහෙක් (පෙම්වතෙක්) වෙන්න, ඒ වගේ ප්‍රතිරූපයක් හදාගන්න බැරිවීම ගැන කනගාටුයි. ඒකට මට සමාවෙන්න. ඒත් මේ වයසෙදි හරි මේ ලෝකෙ කවුරු හරි මගේ ගැන
දැනගන්නත් ඕන නිසයි මේ ඔක්කොම ලියුවෙ. කියන හැම දෙයක්ම ඇත්ත වුනාට හැම ඇත්තක්ම කියන්න හොඳ නැති බව නොදන්නවා නෙවෙයි. නමුත් මගේ පොඩිවුන් දෙන්නා තව ටිකක් ලොකුවුනාම, මට තවත් නැතිවෙන්න - ආසාවල් බැඳීම් ඇතිකරගන්න යමක් තියෙනවනම් ඒ එකම එක දෙයක් විතරයි. ඒ මොකක්ද කියල කන්නාඩියක් ලඟට ගියොත් ඔයාට බලාගන්න පුළුවනි. ගිහින් බලන්න. 

මොනව වුනත් දීපා, අමතක කරන්න එපා, ජීවිතය සුන්දරයි, සතුටින් සිටින්න.

සසර පුරා මෙහෙම අපිට වැරදිලා ඇති... මට දුක මගේ ගැනම තමා....

හෙට ඉඳල මගෙ ගම කතාව මට ඉඩ ලැබෙන හැටියට ලියාගෙන යන්නම්. ඒත් තවත් ඒකෙ ලියන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද?   

Sunday, January 8, 2012

අවාසනාවන්ත කැහැටු කොල්ලෙකුගේ  ආදරය සොයා ගිය කතාවල කනගාටුදායක අවසාන කොටස.

මම පිටරට හිටපු දවස් වල අපිත් එක්ක අපේ බොස් කෙනෙකුත් හිටිය. boss කිව්වට මෙයා බොසියක්. අපිට එකට වැඩ කරන්න තිබුනට අපි නැවතිල හිටියේ ගෙවල් දෙකක. ලංකාවෙන් ගිය වෙන කවුරුවත් හිටියෙ නැති නිසා අපිට එකට shopping යන්න එහෙමත් වුනා. trip එකේ අන්තිම හරිය වෙනකොට අපි දෙන්න ටිකක් සමීප වෙල හිටියා කියල හිතාගන්නකො. I promise, there is nothing intimate happened between any of those girls/women and me. අපි ආපහු ලංකාවට ආපු ගමන් මේ යෝධි කසාද බඳින්න කතාව. මාස ගානක් එකට (අ) වැඩ කරපු පලියට එහෙම කරන්න පුලුවන්ද? නේද? අනික මම හැම වෙලාවෙම අතේ දුරින්ම නැතත් "අරකට" වඩා දුරක් තියාගෙනත් ඉඳල.

ඕක ගැන මම වැඩකරපු තැන අනිත් උදවියගෙනුත් තර්ජන ගර්ජන අවවාද උපදෙස් ගලාගෙන ආව. විශේෂයෙන්ම අපි එක්ක හිටපු අවිවාහක 45 පැනපු කාන්තාවෙ දෙන්නෙක් සහ පරිපාලනයේ උදවිය බොහොම උරණ වෙලයි හිටියෙ. මේ මනුස්සයා පව්, ඉඩම් අරන් ගෙවල් හදල පඩියෙන් ජීවත් වෙනහැටිත් ගනන් හදලයි තිබුනෙ. අන්තිමට මගෙන් උනන්දුවක් නැති නිසාම, මට ලං වෙච්ච අනිත් අය වගේම මෙයත්
බැන්දා. දැන් හරහට උස ගිහින් දරු මල්ලොත් හදාගෙන සතුටින් ජිවත් වෙනබවයි ලංකා පුවත් සේවය වාර්තා කරන්නේ.

මෙයා කසාදෙන් පස්සේ ඉස්සෙල්ලම වැඩට ආපු දවසේ මට කිවුවා එයාගේ අලුත් හබී සමග සංසර්ගයේ යෙදෙන එක වරකදි තුන් හතර වතාවක්ම සුරතාන්තයට පත්වෙන බව. අවසර කල් රහස් තැන ලැබුන පලියට වරදේ නොබැදුනාට මට ලැබුන සහතිකය තමයි ඒ. තාමත් එහෙමද දන්නේ නැහැ. කතාව පටන් ගත්ත නිසා මා ගැනත් ලියන්නම්කො. මමනම් ඔය වැඩේට එච්චරම දක්ෂයෙක් නෙවෙයි. වරදවා වටහා ගන්න එපා. නොහැක්කක් නොමැත. නමුත් පම්පෝරි ගැසීමටද නොහැක.

ඉතින් ඊට පස්සේ තමයි මටත් හිතුනේ (තේරුනේ=වැටහුනේ=අවබෝධ වුනේ=මීටරේට වැටුනේ=*?*) මෙහෙම ගියොත් මටත් කවදාවත්ම හොඳක් වෙන්නෙ නැහැ කියලා. බලන්න පින්වතිය, මේ අවාසනාවන්ත තරුණයාට අන්තිමට වෙච්ච දේ. ඒ තරුණයා ආදරේ කරපු දෙන්නෙක් හිටියා. ඒ තරුණයාට ආදරේ කරපු අයත් හිටියා. ඒ තරුණයාට ආදරේ කරන්න උත්සාහ කරපු අයත් හිටියා. ඒ තරුණයා ආදරේ කරන්න උත්සාහ කරපු අයත් හිටියා. නමුත් අවසානයේදී ඒ තරුණයා පෙර ආත්ම වල හෝ මේ ආත්මයේම කරපු කර්ම ඵල අනුව කතා කරපු කසාදයක් කරගන්න තීරනය කරණවා. තේරෙන බාසාවකින් කියනවනම් proposal එකකින් මේ කතාව ඉවර වෙනවා පින්වතිය.

බලන්න ගිය එකම කෙල්ල දැකල මාසතුනකින් බැන්දා. ඊට අවුරුදු කිහිපයකට පස්සෙ උපන් රටත් අත හැරල තිබුන එකම ඉඩමත් විකුනල
මුහුදු හතකුයි, කඳු හතකුයි, වනාන්තර හතකුයි පහුකරල කාත් කවුරුවත් නැති රටකට ආව.

Saturday, January 7, 2012

කතන්දරගේ බ්ලොග් එකට ලියපු comment එකක් මෙතන දැම්මේ ඔයා කතන්දර කියවන්නේ නැති නිසා...

වැඩිහිටි නිවාසයක සිටි මහලු කාන්තාවන් දෙදෙනෙක් මද වැස්සක් තිබුන දිනක දුම් පානය සඳහා එලියට ආවා. එයින් එක් කාන්තාවක් තංගල්ලෙන් කොන්ඩම් එකක් ඇදල අරන් කොන හපල තමන්ගේ සිගරට්ටුව වහගත්තා. අනිත් කාන්තාව කවදාවත් කොන්ඩම් එකක් දැකල තිබුනේ නැහැ. එයා අනිකිගෙන් ඇහුවම කියල දුන්න ඒවා තමයි කොන්ඩම් කියන්නේ කියලත් ඕනෑම pharmacy එකකින් ගන්න පුළුවන් බවත්. පහුවදාම මේ වයසක උන්දෑ pharmacy ට ගිහින් pharmacist ගෙන් ඉල්ලුවා කොන්ඩම්. pharmacist පුදුම වෙලා ඇහුවා මැඩම්ට මොන brand ඒවද ඕන කියලා. ආච්චි කියනවා "doesn't matter honey, as far as it fits for a Camel" කියලා.File:Pack of camel.jpg
(ඇමරිකාවේ තියෙනවා Camel කියල සිගරට් වර්ගයක්)

Friday, January 6, 2012


ප්‍රේමයනම්...රාගයෙන් තොර...සඳ එලිය සේ...... දැන්නම් රාගයක් නැත්තේමත් නැහැ...

තව මාස තුනකින් අපි හමුවෙලා අවුරුදු 22 ක් වෙනවා. අපි මුණගැහුන කාලෙම අපිට දුවෙක් එහෙම ලැබුණානම් මේ වෙනකොට කසාදයකුත් බන්දලා දෙන්න තිබුණා. ඒත් ඉතින් මොනවා කරන්නද? ඔයාව ජීවිතේටම දැකලා තියෙන්නෙත් දවස් තුනයි. කවදාවත් අතින්වත් අල්ලලා නැහැ. ඒත් අපි තාමත් ආදරයෙන් බැඳිලා.

අවුරුදු 22 ක් කියන්නේ රාත්තල් 120 ක් බර තිබුන මම රාත්තල් 185 ක්  බර වෙන්න තරම් ලොකු කාලයක්. මූන යන්තම් රැලි වැටිලා, නිකට දෙකක් වෙලා, නර කෙස් පැහිලා.... අපි මැදිවියට පත් වෙලා. මැදිවියෙන් මහලු වියට යනකනුත් අපිට ආදරෙන් ඉන්න පුළුවන් වෙයි නේද ඉස්කෝලේ හාමිනේ?

ඔයා කිව්වා වගේ මගේ වරද මම පස්සෙන් ආව නැති එකමද ඉස්කෝලේ හාමිනේ? මම නම් හිතන්නේ මේක තමයි අපේ දෛවය. මට මාරුවක් ලැබිලා යන්නයි ඔයා “කවදාවත් වෙනස් කරන්න බැහැ” කියපු හේතුවක් උඩ මට අකමැති වෙන්නයි ... මට හිතා ගන්නත් බැහැ අපි ඒ විදියට වෙන් වෙලා මේ විදියට ආයෙත් මුණගැහුනේ ඇයි කියල. සමහර විට අපි ඒ දවස් වලම එකතු වුනානම් මේ වෙනකොට අපිටත් අපිව එපා වෙලා වෙන්නත් පුළුවන්. කොයි දේ වෙන්නෙත් හොඳටයි කියනවනේ. එහෙමවත් හිත හදා ගනිමු. මට හිතෙනවා දැන් අපිට ඉස්සරටත් වඩා නිරවුල්ව ආදරය කරන්න පුළුවන්. අපිට අපි ගැන තණ්හාවක් ඉරිසියාවක්‌ ලොකු බැඳීමක් නැහැනේ. එහෙම බැඳීමක් ඇතිකරගන්නත් අපිට අවසරයක් නැහැනේ.

අපිට වෙන වෙන අයත් එක්ක, ඔයාට ඔයාගේ හබීවයි මට මගේ ගෙදර උන්දැයි ඇර අපිට තවත් කොච්චර බැඳීම් තියෙනවද? මුළු ලෝකයම අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා හොඳ මවක් මම හොඳ පියෙක් විදියට ජිවත් වෙනවා දකින්න. ඒ කවුරුවත් අපි ආදරයෙන් හිත සතුටින් ඉන්නවද දන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, ඒ අයට ඒකෙන් ඇති වැඩකුත් නැහැ. අපි අපේ වගකීම් හරියට කරන තරමට අපේ අවට ඉන්න අයට අපෙන් වෙන්න තියෙන කරදර අඩුයි. ඒකයි ඒ අය අපි  හොඳ මවක් හොඳ පියෙක් විදියට විතරක් දකින්න කැමති. ඒ වුනත් ඉස්කෝලේ හාමිනේ, ඒ කවුරුවත් නොදන්නා සුන්දර රහසක් අපිට තියෙනවා නේද? ඒක රහසක් නිසාම තව තවත් සුන්දර වෙනවා. පාන්දර 4 ට නැගිටලා call එකක් ගන්න එකම සුන්දර දෙයක් නෙවෙයිද? එහෙම විනාඩි 2 ක් කතා කලත් ඒ මුළු දවසම ඊට පස්සේ කොච්චර සැහැල්ලුවෙන්ද ගෙවිලා යන්නේ. ඒ සැහැල්ලුවම ඇති නේද අපිට අපේ ජිවිත බර අමතක කරන්න.

ඒක නිසා තමයි මම හැමදාමත් කියන්නේ, ජීවිතය සුන්දරයි, සතුටින් සිටින්න.

Thursday, January 5, 2012


මනමාලිගෙ බෙස්ට්මන්!

කියවන්නත් කම්මැලියි නේද? තව දෙන්න ගැනයි ලියන්න තියෙන්නේ. ඉතුරු ටිකත් කියවලම ඉවර කරන්න. ඒව බොහොම කෙටි කතාවල්.

අමතක උනා, ඔයාගෙ ගමෙන් ආපු දවස් වල තවත් අපේ batch එකේම එකෙක්ගෙන් අහලත් ඇනගත්ත. බොහොම සරලයි. මම ඇහුව. බෑ කියුවා. එච්චරයි. ඒ කෙල්ලත් ඊට පස්සෙ ඉක්මනට බැන්ද. උන් ඔක්කොම බැන්දෙ උන්ගෙ කල වයස හරි නිසා මිස මම අහපු නිසා නොවුනත් මගෙ යාලුවොනම් කියන්නෙ මම වගෙ එකෙකුත් ඇහුවම උන්ට හිතෙනවලු “යකෝ, මූත් අහන්නෙ අපි දැන් එච්චර පහලට වැටිලද, දැන්නම් ඉක්මනට බඳින්න ඕන” කියල. ඒකත් සමාජ සේවයක්නේ කියල මමත් හිත හදා ගන්නව. ඒ අතුරු කතාවක්.

අන්තිම කතා දෙක සිද්ධවුනේ එකම කාලයෙ – හරියට සමාන්තර ගනයෙ සිනමාවක් වගෙ. ඔය කාලෙ වෙනකොට මම ආයෙත් single වෙලානෙ. මම යාලුවෙකුගෙ – මගෙත් එක්ක වැඩ කරපු කෙල්ලෙක් බඳින වෙලවෙ බෙස්ට්මන් ට ගියා. හිනා වෙන්න එපා, බැඳපු එකා මගෙ
යාලුවෙක් නෙවෙයි. මනමාලි තමයි මගේ යාලුවා. එකිට ඕන උනා සුදු කොල්ලෙක් wedding photo එකේ තියාගන්න. ඔයාට එහෙමවත් මාව මතක් වෙන්න නැතුව ඇති නේද? බැඳපු පොරත් මම වගේම සුදු උස එකෙක්. මම මනමාලිගෙ බෙස්ට්මන්! ඔය කොල්ලා පිරිමි හෙදියක් හෙවත් male nurse කෙනෙක්. දැන් ඉතින් කතාවෙ ඉතුරු ටික හිතාගන්න පුලුවන් නේද. සාර්ථක කී වෙනි පාරටද මන්ද, ඔතන හිටපු nurse කෙනෙක්ගෙන් වටින් පිටින් මනාපය ඇහුව. ඇහුවටත් වඩා මම කැමති බව කිව්ව වගේ මතක. ඒ කතා කරපු දවසත් මගේ heart rate එහෙම වැඩිවෙලා තිබුන ලස්සන සුන්දර දාඩිය දාපු දවසක්. බයට නෙවෙයි, studio එ‍ක ඇතුලේ රස්නෙට. (මම කොහොමද ඔයාගෙන් මනාපේ ඇහුවෙ? මම ඇහුවද? නැත්නම් වටින් පිටින් දැනෙන්න ඇරිය විතරද?) ඒ ළමයා අහපු ගමන් කැමති උනේ නැහැ.


ඔය අතරෙ තමයි මට පිටරට යන්න ලබුනේ. ඒ ගිය අතරෙ ලියුම් එහෙම හුවමාරු උනා. ඒවත් මගෙ පෙට්ටගමේ තිබිල කියෙව්වා. මම ලංකාවට ආවට පස්සේ ඒ ලමය මට කැමතියි කියල කිව්ව. අවාසනාවකට වගෙ හැරෙන තැපෑලෙන්ම මට red notice ආව. ඔය වෙනකොට මට ඒ ගැන දුකක් නොහිතෙන තරමට මට අපේ සම්බන්ධය යන අත දැනිලයි තිබුනෙ. හැබයි මේ ළමය මට වඩා එක අවුරුද්දයි වැඩිමල්. දැන් කොහේ ඉන්නවද දන්නෙ නැහැ. බැඳලා middle east ගියා කියල ඒ දවස් වලම ආරන්චි වුනා. 

අවසන් කොටස හෙට.

Wednesday, January 4, 2012


මගේ ජීවිතෙ මම තියපු ලොකුම සහ එකම පොල්ලට උත්තරයක් විදියට මේක තමයි මට ආපහු ලැබුනේ.

ඇය මට රිදවු බව නොකියමි

අකාරුනික වු බවද නොකියමි
අසීමිත වේදනාවක්

සදාකාලටම දායාද කොට දුන් බවද නොකියමි
ඇය මට ආදරය කල බව පමනක්

ලොවටම හඩගා කියමි….

ඕක මමමයි මොකද්ද කවි පොතකින් හොයගෙන ලියාගෙන තිබුනේ. මට මතක විදියට ඒ මම බාඳුරා මලට පෙම් කරලා ඇන ගත්ත කාලේ. මගේම අකුරින් ලියල තිබුනත් හෙදියගෙන් මට තැපෑලෙන් ලැබුන මේකත් මගේ පරණ ලියුම් අතරේ තිබිල හමුවුනා.  
දැන් බලනකොට හොදටම පිස්සු වගේනෙ. ඒත් ඒකාලෙ එහෙම හිතුනෙ නැහැ. දැන් අපි මැදිවියේ මිනුස්සුනේ. ඒක වෙන්න ඇති එහෙම හිතෙන්නෙ.

p.s.:
ඕක තිබුනේ මට දැන් මතක විදියට අනුර බණ්ඩාර රාජගුරු (?) ගේ "කඳුළු නැති දෑසක්" කියන කවි පොතේ. හරිම ලස්සන සංවේදී කවි පොතක්. ඒ කවි නම් කරලා තිබුනේ කවි වලටත් වඩා සින්දු විදියටයි. එඩ්වඩ් ජයකොඩි එයින් එකක් ගායනා කළ බවත් මට මතකයි. මේ තොරතුරු වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න.

Tuesday, January 3, 2012

තුන්වෙනි ඉස්පිරිතාලේ: මෙතැනදී තමයි මගේ ජිවිතයේ කරපු “කළු” වැඩකට අත ගැහුනේ. මම කරපුදේට සාධාරණ හේතුවකුත් නොතිබුනාම නෙවෙයි. ඒත් මම මගෙ වැරදි වහගන්න නිදහසට කරුනු කියන්නෙ යන්නෙ නැත්තේ මේක අවුරුදු 2 ක් ම ඇදුන කතාවක් නිසා. මීට සමාන්තරව සිද්ධ වෙච්ච මම මුලින් ලියපු "සුදු" කතාවේ අක්කට කලා වගෙ මට ඕනනම් මේකත් නවත්වන්න තිබුන. ඒත් ඒක එහෙම වුනේ නැහැ.

ඔයා හිතුව වගෙම මේකත් හෙදියකට පෙම් කලෙමි වර්ගයෙ කතාවක්. ඉස්පිරිතාලෙ ඉන්න අපි හෙදියන්ට නැතුව ඉස්කෝලේ හාමිනේලට පෙම් කරන්නයැ? කෙරුවත් ඉතින් ඉස්කෝලේ හාමිනේලා අපිට කැමති වුනේ නැහැනේ. (හැමදාමත් මෙහෙම අපිට මට වැරදිලා ඇති...)

මම වැඩ කරපු රෝහලේ හිටිය බොහොම කෙලිලොල් හෙදියක්. මම ඔය ගැන උනන්දුයි වගේ කියල කවුරු හරි මේ ළමයටත් කියල තිබුන. දන්නවනේ, මේ වගේ දෙයක් දැන ගත්තම වට පිටවේ අයටනේ උනන්දුව වැඩි. ඔයාගේ ගමේ හිටපු අයත් ඔයා කසාද බඳිනකම්ම මට ඔයා ගැන විස්තර දැන්නුවා. යන්තම් අහන්න විතරයි ඕන. මමත් ඉතින් වැරදුන කුරුමානම, එතකොට ඇඹුල් මිදි වගේ දේවල් කියල අමතක නොකර ඔබතුමිය ගැන හොයා බැලුවා.

ඒවා දැනට අමතක කරලා nurse නෝනගේ කතාවට යමුකෝ. මට අදටත් මතක නැහැ අපි කොහොමද කොහෙදිද මුලින්ම දැක්කේ, කොහොමද යාලු උනෙ වගෙ විස්තර. (සමහර අය නම් ඉස්කොලෙ තප්පෙට හේත්තු වෙල කතා කරපු හැටි මට මතකයි.) ඒ nurse නෝනත් මට වඩා වයස බව අනිත් එවුන් කියපු නිසාම මම ඇහුවම මට කිව්වෙ එයත් ඔයාගෙ වයසෙ කියල. මම ඒක එච්චර ලොකු පරතරයක් විදියට හිතුවෙ නැහැ. ඊට කලින් හිතුවෙ නැති මම දැන් එහෙම හිතන්නේ මොකටද? ඉතින් එයා මගෙන් බෙහෙත් ගන්න එනවා, ගෙදර යනකොට එක බස් එකකේ යනව වගෙ දේවල් තමා අපි දෙන්න අතරේ තිබුනේ. වැඩි දුර විස්තර ඕනනම් අහන්න, ආපහු මටම දමා ගහන්නෙ නැහැ කියන පොරොන්දුව පිට කියන්නම්.

ඔය අතරෙ මට මගෙ තීරනේ ගැන ආපහු හිතන්න ඕනේ නේද කියන දවස උදා වුනා. එයාගේ තාත්ත හදිස්සියේ නැති වුනා. එදා මම එයාලගේ ගෙදර ගියේ මිනිය ගෙදරට ගෙන්නත් කලින්. මෙයා ලඟට ඇවිත් අඩ අඩා ඇහුව කාරණයක් කියන්න තරහ වෙනවද කියල. ඔය වගේ වෙලාවක කවුද ඉතින් තරහ වෙන්නේ? දන්නවද කියපු කරනේ? එයා ඔයාටත් වඩා අවුරුදු 3 ක් වැඩිමහල් ලු. ඒ කියන්නෙ මට වඩා 7 ක්! මට කොහොමවත් ඒ වෙලවෙ අහන්න බැහැනේ ඇයි බොරු කිව්වෙ කියලවත් නැගිටලා එන්නවත්. එයාගේ තාත්ත නැති වෙච්ච දවසෙ තවත් දුකක් දෙන්න පුලුවන්ද? මට කියන්න වුනා ඒකට කමක් නැහැ කියල. මම දන්නව එයා මට ගොඩක් ආදරෙන් හිටිය කියලත්. සමහර විට අපි බැන්දනම් අපිට සතුටින් ඉන්න පුලුවන් වෙන්නත් තිබුන. ඒත් ඔය මම කියපු සිදුවිමෙන් පස්සේ මම තීරනය කලා මගෙ ඊළඟ ස්ථාන මාරුව බාරගන්න.

මාරුවිම ඇවිල්ලත් මාස ගානක් නොගිහින් හිටපු මම ඉක්මනටම කොළඹට මාරුවෙල ආව. ඊට පස්සෙත් අපේ සම්බන්දය ටික දවසක් තිබුන. මගෙ ජිවිතයෙ එකම එක පාරයි මම කාට හරි කෙලින්ම මේ සම්බන්දය නවත්වමු කියල තියෙන්නෙ. කෙල්ලෙකුගෙන් යාලුවෙමුද කියල අහනවට වඩා ගොඩක් අමාරුයි තරහ නොවී වෙන් වෙමුද කියල අහන එක. ඒත්... මම දවසක් ඒක එයාට කිව්ව. ත්‍රාසජනක සිදුවීම මුකුත් උනේ නැහැ. ඒත් ගොඩක් ඇඩුව කියල නම් ආරංචි වුනා. ඊට මාස 6 ක් වගේ ඇතුලත ඒ ළමයත් කසාද බැන්ද. මටත් ආරාධනාවක් එවල තිබුන. මම ගියේ නැහැ.

මට අන්තිමට ලංකාවට ගිය වෙලාවේ විනාඩි 2 ක් වගේ කාලෙකට එතුමිය හමුවුනා. ඒ අන්තිමට එයාව දැකල අවුරුදු 18-19 කට වගේ පස්සේ. එයා දැන් sister කෙනෙක්. පල්ලියෙ නෙවෙයි – ඉස්පිරිතලෙ. හස්බන්ඩ් pension අරගෙනත් අවුරුදු 2 ක් ලු. ඒ හැර මට එකම එක දවසක් ඒ දෙන්නම මරදානේ station එකේ පාලම උඩදි මුණ ගැහුනා. මාව හබිට අඳුන්වලාත් දුන්න, "මේ පීටර්" කියල. ඒ උන් දෙන්න බඳින්න කලින්.

එච්චරයි.

Monday, January 2, 2012


ආපහු කතාවට යමුකෝ. ඔය දවස වල මම ලියල තිබුන මෙහෙම.

නුරා ගඟුලක් සේ ගලායන
ඔබේ දෙතොලඟ සිනාවේ
සිතින් පමනක් සිසිල දවසක
ලබා මා තනි වුනාවේ...


මේකත් මට මගේ බත් ඔතපු කවර වල ලියපු කවි වගේ අහක දාන කොළ කෑල්ලක කුරුටු ගාල තිබිලයි හමුවුනේ.

Sunday, January 1, 2012


ආදරණිය ඉස්කෝලේ හාමිනේට සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා.
ප.ලි.: ඒ සිතුම් පැතුම අතර මටත් රැඳී සිටීමට ඉඩක් ලැබේවා.