Monday, December 5, 2011


දයාබර දීපා,

තවත් දවසක්. අද ඔයා කතා නොකරන බව මම දන්නවා. ඒ හින්දද මන්ද පාළුවක් දැනෙන්නෙ. ඔයා කතා කරයි  කියල හිතුන නම් මම බලාගෙන ඉන්නවනේ. එක අතකට හැමදාම කතා නොකරන එකත් හොඳයි. අපි අපේ ගැන අමතක කරන්න හොඳ නැහැ නේද?

මීට අවුරුදු 21 කට කලින් නියපොත්තෙන් කඩල දාන්න හදපු ආදරය නේද අද මහා ගහක්  වෙලා අතු පතර විදහා ගෙන අපිට හෙවන දෙන්නේ. 1990 නියපොත්තෙන් කඩල දැම්මත් අපිට අපේ ආදරයේ මුල් ගලවන්න අමතක වෙන්න ඇති. එක අතකට දෛවය කියන්නෙත් මේකම වෙන්න ඇති. ඔයා හමුවෙලා මාසයක්වත් යන්න කලින් අපි වෙන්වෙලා ගියා. ඊට පස්සේ අපි හමු උනේ එකම එක පාරයි. දැන් මම මොන වගේද කියලවත් ඔයා දන්නේ නැහැ. ඒත් අපි දෙන්නම විනාඩි දෙක තුනක් හරි කතා කරන්න බලා ඉන්නවා.

මට ආසයි අපි අන්තිමට හමුඋනාට පස්සේ ඔයාගේ ජීවිතය ගෙවුණු හැටි අහන්න. ඔයාගේ හස්බන්ඩ් හමුවෙච්ච විදිය, ඔයා දැන් ඉන්න පළාතට ආපු හැටි, රස්සාව පටන් ගත්ත හැටි, කොච්චර දේවල් තියෙනවද? ඊළඟට කතා කරන දවසට මේ ඔක්කොම කියන්න. බකමුනි වගේ හ්ම් හ්ම් ගාන්නේ නැතුව. තරහ ගියාද බකමුනි කිව්වම? දන්නවද, ඔයාට තරහ ගියාම ඔයාගේ සුදු මුණ රතු වෙලා තවත් ලස්සන වෙනවා.

තව දෙයක් කියන්න තියෙනවා. දන්නවද, මෙච්චර කල් මම කාර් රේඩියෝ එකේ ඇහුවේ නිව්ස් විතරයි. දැන් මිල්ටන් ගේ සින්දුත් අහනවා. ජිවිතෙන් බාගයක්ම ගෙවිලා තිබුනත් ආදරේ ඉස්සරහ බොළඳ වෙලා නේද? ඕන දෙයක් කියන්න, මගේ බොළඳ කම මට තිබුණාදෙන්.

ඉතින් දීපා, හෙටත් මම වැඩ. පාන්දර පටන් ගන්න ඕන. ඉක්මනට ඉන්ටෙර්නෙට් ගන්න එපා. ඔයා ඉන්ටෙර්නෙට් ගත්තොත් මේක බලන්න දෙන්න වෙනවනේ. මම ලියන දේවල් මට විතරක් තියාගන්නම් දැනට.

හැමදාමත් වගේ, ජීවිතය සුන්දරයි, සතුටින් සිටින්න.

1 comment:

  1. වයස - ආදරයෙන් ස්වායක්තයි.

    මතකය - ආදරයෙන් පරායක්තයි

    ReplyDelete