ඇන ගැනීම අංක හතර:
මුහුදු හතකටයි වනාන්තර හතකටයි කඳු හතකටයි එහා තිබුන පුංචි ගමේ ඉඳල මම ගියෙ කොහටද කියල ඔය දන්නවනෙ. තනිකඩයෙක් විදියට ගිය නිසා එහේ හිටපු එවුන් මගෙත් ඉල්ලීම මත මට හෙදි ශිෂ්‍යාවක් යාලු කරල දුන්න. ඒක එකම එක ෆැන්ට බෝතලයකට සහ ලියුම් කිහිපයකට සිමා උණා. ඒත්, අද ලියුම් බැලුවම තමයි මට දැනුනෙ, බොක්කටම වැදුනෙ මේ ළමය අම්මටත් කියල නේද කියන දේ. හැබැයි පස්සේ තවත් ලියුමක තිබුන අම්ම දෙවෙනි සැරේ අහපු වෙලාවේ මුකුත් තද බල ලෙස කිව්වෙත් නැතිය, අම්ම කොහොමත් මම දුර වැඩියි (මගේ ගම ගෙදර) කියල කැමත්තක් පෙන්නුවෙත් නැතිය, එයා අම්මට විරුද්දව මුකුත් කරන්නෙත් නැතිය, ඒත් ඕනම නම් අම්මගෙ කැමත්ත ගන්නත් පුලුවන්ය වගේ දේවල් ගොඩක්.
එතනින් පස්සේ ඒ සම්බන්ධය ඉවර උනේ කොහොමද කියල නම් මට හරියටම මතක නැහැ. මම හිතන්නෙ මම ඒ ගමෙන් ඊළඟ තැනට මාරුවෙලා ගිය නිසා වෙන්න ඕන. මම දන්නෙ නැහැ ඒ ළමයා ගොඩක් දුක් උනාද, නැත්තම් මම මගෙ පලමුවෙනි ප්‍රේමයට කලා වගේ බැහැ කියාගන්න බැරිකමට ඉඳල මම ගිය එක ගැන සතුටු උනාද කියල. ඒ ළමය ආ ගිය අතක් අදටත් මම දන්නෙ නැහැ. කොහේ උනත් ඉස්පිරිතාලෙක හොඳ හෙදියක් වෙලා ඇති. මාව දැක්කත් අඳුර ගන්නව තියා මගේ නමවත් (තවත් සමහර අය වගේ) නොදන්න බව මට විශ්වසයි.
ඔය දවස් වලම තවත් කිය යුතුම දෙයක් උනා. අපේ ස්ටාෆ් එකේම හිටපු විවාහක දෙදරු මවක් මට එක එක විදියේ ආරාධනාවන් කලා. හබී රෑ වැඩට යන දාට මට ගෙදර එන්න පවා කිව්වා. ගෑනියෙකුට එහෙම බය වීමක් මම මෙච්චර කලෙකට වෙලා නැහැ. මම ඒ ආරාධනාවන් පිලිඅරන් නොගිය බව මාත් එක්ක එක බෝඩිමේ හිටපු යාළුවො දන්නවා. ඔයාට මේ දේවල් කියන්නෙ ඔයා මට ආදරය කරන්නෙ කොන්දේසි විරහිතව කියන මතය උඩ ඉන්දගෙනයි. ඒක එහෙම නොවුනත් මට ඔයාට සාක්කි ගෙනත් පෙන්නන්න විදියක් නම් නැහැ.
කවද හරි අපි බැන්දොත් (keeping my fingers cross) ඔන්න ඕව කියල රන්ඩු පටන් ගන්න නම් එපා. ඒ කාලෙ මට වයස 20 යි. ඔය ඉඟි බිඟි වලට රැවටිලා වැඩ කරන අතරෙ කතබහ කලා හැර වෙච්ච එකම දේ ඉස්පිරිතාලෙ ඔක්කොම ගිය ට්‍රිප් එකකදි මහ වැස්සක් වෙලාවේ පේරාදෙණියේ මල්වත්තේ එක කුඩයක් යටින් ඇවිදන් ගිය එක විතරයි. අමතරව එදා උදේ ඉඳලම මතට තිත තියලයි හිටියෙත්. එදා තමයි අනිත් එවුන්ටත් එන පොට මොකක්ද කියල තේරිලා මට බඩ කට පුරා උපදෙස් ගුරුහරුකම් ලැබුනේ. කොහොමින් හරි මගෙත් අහවල් එකට වඩා දිගට බුද්ධිය පහල වෙච්ච නිසා එතනින් ගැලවුණා. ඒ උන්දැ මට මගෙ ඊළඟට රාජකාරි කරපු තැනටත් එවපු ලියුම් දෙකකුත් මගෙ පෙට්ටගමේ තිබුණා.
එයා තවමත් ඉන්නෙ ඒ දවස් වල වැඩ කරපු තැනමයි. එතෙක් මෙතෙක් කවදාවත් සුවදුක් අහන්නවත් එයාවත් මමවත් කතා කරලම නැහැ.
ඊළඟ සේවා ස්ථානයේ තවත් (අ)සාර්ථක කතාවක් හෙට.
මට ඉස්කෝලේ හාමිනේ මුලින්ම මුණ ගැහුනේ මීට අවුරුදු 21 කටත් කලින්. දැකපු පළමුවෙනි දවසෙම මට ඉස්කෝලේ හාමිනේ ගැන ආදරයක් හිතුනා. ඒ දවස්වල නොවුනත්, දැන් අපි අපේ මැදිවියේදී ආදරවන්තයෝ වෙලා. මේ බ්ලොග් එක මම ඉස්කෝලේ හාමිනේට ලියන ලියුමක්. දැන් අපි දෙන්නම විවාහකයෝ නිසාත් ජිවත් වෙන්නේ ලෝකේ දෙපැත්තේ නිසාත් පවුල් අවුල් කරගන්නේ නැතුව කතාකරන්න වෙලා තියෙන්නේ මෙහෙමයි.
Saturday, December 31, 2011
Friday, December 30, 2011
මම මගේ තුන් වන රෝහලේ හිටපු දවස් වල එක ගෑනු ලමයෙක් හිටියා කියල පටන් ගනිමුකො. මේ ළමය මට බොහොම ආදරය කරන බවක් කියුවා. එයා මුනගහෙන්න හැමදාම එන්න කියනව. පොර වෙන්න ලියනවා නෙවෙයි, හරිම දුක්බර ආයාචන ලියල එව්ව. මට ඕන තරම් එයාව රවටල බොරු ආදරයක් පෙන්නනන්න තිබුණා. එත් අද මට හරිම සතුටුයි මම ඉතාම දරුනු විදියට වුනත්ඒ ළමයව මග ඇරල හිටපු එක ගැන. එයා ඉස්පිරිතාලෙට ආවම මම මගෙ ඔෆිස් එක වහල යනව. අන්තිමට කියල තිබුන එයාගේ open university විභාග ඉවර වෙනකම් හරි එයාට දුකක් නොදී ඉන්න කියල. මට චෝදනා කරල තිබුණා එයා මට ආදරේ වුනෙ මම හිතවත්ව කතා බහ කරපු නිසා කියලා. හරියටම මම අනිත් අයට චෝදනා කරනව වගෙමයි නේද? ඊට ටික කාලෙකකට පස්සේ මම කිසිම අනුබලයක් නොදීපු නිසා ඒ ළමය බැන්දා.
මම කවදාවත් එයා මට කරදරයක් කියල මග ඇරිය නෙවෙයි. ඒත් මට කිසිම උවමණාවක් තිබුනෙ නැහැ නොකෙරෙන දෙයකට මුලපුරන්න. දැන් ඒ ලියුම් බලනකොට මම කරපු දේ හරි බව මට හිතෙනව. එයාගෙ ඉල්ලීම් වලට එකඟ වෙලා මුනගහෙන්න ගිහින් බලපොරොත්තු ඇති නොකර කොච්චර දරුනු විදියකට උනත් මම ඒ (කවදාවත් ඇති නොවුන) සම්බන්ධය කඩා දමපු එක එයාට මම කරපු උදවුවක් බවයි මගේ හැඟීම.
මගේ අතීතයේ කළු පාට පැත්ත ගැන කියන්න කලින් කළුත් නොවෙන සුදුත් නොවෙන සිදුවවීම් කිහිපයකුත් තියෙනවා කියන්න.
ඊටත් කලින් තවත් දෙයක් කියන්නම ඕන. මොන තරම් කාන්තා නම් මගෙ නම එක්ක ගෑවුනත්, මම ඒ කිසිම කෙනෙක් එක්ක කවදාවත් intimate සම්බන්ධ කම් පවත්වන්න උත්සාහ කලේ වත් නැහැ. එහෙම වුනේ ඒ වගෙ ආසාවල් නැති ලෙඩක් නිසා නෙවෙයි. මට හිතුන, මම තවමත් හිතනව ඒක වැරදි වැඩක් කියල. තව කෙනෙකුගෙ මූනෙ දැලි ගෑවෙන වැඩක් කරල මම ආයෙත් ඒ මූන බලන්නෙ කොහොමද? අනික මම අතින් වරදක් වුනානම් එකේ වගකීම බාරගන්න වෙනවා නේද? ඉතිං වගකීම් බාරගන්නවට වඩා ලේසියි වරදක් නොකර සිටීම.
කසාද බැඳපු දවස් වල වෙච්ච දේවල් වෙනම කියන්න ඕන. ඒ ටික කියන්නම් කවද හරි අපි දෙන්න කසාද බැන්දොත්.
This is enough for the preamble. Let’s start the story of the world of shame.
ඉතුරු කොටස ලබන සතියේ. නෑ, හෙට.
Thursday, December 29, 2011
දුහුලු මලකට පෙම් කරමි.
මිනිස්සු චිත්‍රපටි බලලා තමන්ගේ ජිවිතත් ඒ වගේ වෙයි කියල හීන බලනවා නේද? මේ බ්ලොග් එක දිගටම කියවන්න. එතකොට ඔයාට තේරේවි දුහුලු මලක් මගේ ජීවිතේට මොනතරම් සමීපද කියල. ජීවිතයත් එක්තරා කතාවක් ඉස්කෝලේ හාමිනේ. අපි ඒකෙ චරිත විතරයි.
ඉස්කෝලේ හාමිනේ දුහුලු මලක් චිත්‍රපටිය බලලා තියෙනවද? මට මතක විදියට මම ඒක බැලුවේ ඔයාව දකින්න අවුරුදු 2 කට විතර කලින්. මම සාමාන්‍යයෙන් TV එකේ පෙන්නන චිත්‍රපටි බලන්නේ නැහැ. ඕක ඒ දවස වල පෙන්නුවේ රූපවාහිනී චැනල් එකේ. මට ඔයාව මුණගැහෙන්නත් කලින් කියන්නේ බොහොම කාලෙකට පෙර. අපේ ගෙදර තිබුනේ අඟල් 15 ක කළු සුදු රූප පෙට්ටියක්. මට මුලු චිත්‍රපටියම බලන්න ලැබුනෙත් නැහැ. මට මතක විදියට මම කාමරේ පොතක් හරි කාන්තා පත්තරයක් බල බලා හිටියේ. අපේ ගෙදර හැමෝම (තාත්තා හැර - තාත්තා ඕව බලන්න එච්චර උනන්දුවක් දැක්වුවේ නැහැ) TV එක ළඟ ඉඳගෙන ඕක බලන්න සූදානම් වෙලා මටත් කතා කලත් මම බැහැ කියල නිකම් හිටිය. ඒත් ටික වෙලාවක් කතාව අහගෙන ඉන්න කොට මටත් බලන්න හිතිලා මම ඇවිත් බැලුවා.
එදා ඉඳන් මම හිතන්නේ මම බලපු ලස්සනම film එක තමයි දුහුලු මලක්. ඒකෙ තිබුන එක සින්දුවක කියනවා "හිරු සඳු එකවර දෙපස නැගේ.. කළුවර ඇයි විජිතයම මගේ.." මගේ ලියපු සටහන් ඔක්කොම බැලුවනම් ඔයාට තේරෙනවා ඇති මම තාමත් දුහුලු මලකට කැමති ඇයි කියල. අනිත් සින්දුව බොඳ මිදුම් කඳු රැල්ලේ... ඒකත් බලන්න. හරිම ලස්සන සින්දුව. මටත් කවදා හරි ඉස්කෝලේ හාමිනේ එක්ක එහෙම තැනකට යන්න ලැබෙනවානම්..... ඒකත් මගේ හීන ලිස්ට් එකට දාගන්න ඕන.
මුලින්ම බාඳුරා මල. බාඳුරා මලටත් කොල්ලෙක් ඉන්නවා කියද්දීමනේ මමත් පස්සෙන් ගියේ. ඒ එක.
දෙක, මට කැමති වෙච්ච දෙදරු මව. ඒ මාගම මට දුහුලු මලක් පොතත් හොයල ගෙනත් දුන්නා. පුලුවන්නම් හොයාගෙන කියවන්න. film එක බැලුව වගේම කතාව මවාගන්න පුළුවන්. හරිම ලස්සනට ලියලා තියෙනවා. මට තාම මැවිලා පේනවා "හොර" ගෙදර ඉන්න වෙලාවේ "හරි" ආවහම නීටා ප්‍රනාන්දු බිත්තියට පිට හේත්තු කරගෙන හයියෙන් කතා කරනවා.
තුන. ඔය සිදුවීම් වල අනිත් පැත්ත. මගේ නෝනා දුහුලු මලක් වෙන්න හදපු කතාව. ඒ ගැන මට මෙතන ලියන්න බැහැ. ඒක අපි බැඳපු දවසකම ඔයාට කියන්න තියෙන ලිස්ට් එකේ තියාගන්නම්.
හතර. අපි. මේ පොස්ට් එක ලියන දවස වෙනකොට ඔයා මට ආදරෙයි කියල දවස් දෙකක්. ඒත් ඊට පස්සේ තාමත් මට ඔයාට කතා කරන්න බැරිවුණා. මට බයයි ඔයාට ගෙදරින් ප්‍රශ්නයක්ද කියලත්. ඒ නිසා දිගටම කතා කරන්නත් බැහැ. ආයෙත් සැරයක් හැරෙන තැපෑලෙන්ම red notice දත් මන්දා. ඒ මොනවා වුනත් මම තාමත් ඔයාට ආදරෙයි ඉස්කෝලේ හාමිනේ. කවදම හරි ඔයා මේක කියෙව්වොත් මට කොමෙන්ට් එකක් හරි ලියල යන්න. එහෙම නොවුනොත් මම ආයෙත් ඔයාට කතා කරන්නේ දෙසැම්බර් 31 දා.
ජීවිතය සුන්දරයි දීපා. සතුටින් සිටින්න. මමත් අද වෙනකනුත් ඔයා නිසා සතුටිනුයි ඉන්නේ.
ලියුවේ: December 28.
ප:ලි: දවස් දෙකක්ම ඔයාගෙන් call එකක් නැතුව හිතේ අමාරුවෙන් ඉඳපු මට තවත් අසාධාරණ සිතුවිල්ලක් පහල වෙලා. මෙහෙම ලියුවට වරදවා හිතන්න එපා. මගේ මෝඩකමට මගේ හිතට එන හැමදේම ලියනවා විතරයි. ඇයි ඉස්කෝලේ හාමිනේ ඔයා ගෙදර යන බව මට කියුවේ නැත්තේ. ඔයාට කලින් දවසේ විභාගයක් තියෙනවා කියලවත් මට කිවුවේ නැහැනේ. ඔයා මට ඕව කියන්න බැඳිලා නැහැ. ඒත් මට දුක හිතුනා. බය වෙන්න එපා. ඔයාගේ ජිවිතේ හැම දේම මට කියන්න කොහෙත්ම ඕන කමක් නැහැ. මේ මම ලිව්වේ මට හිතුන දේ.
ප:ප:ලි: අද හිම වැටෙනවා... හරියට මගේ පෑරිච්ච් හිතට ඔයාගෙන් text එකක් ආව වගේ...
Wednesday, December 28, 2011
අප්‍රසන්න ප්‍රථම ප්‍රේමය.
මුලින්ම මා එක්ක ගැහැණු ලමයෙක් යාළු උනෙ මම උ/පෙ කරන කාලෙ. ඒකම තමයි වෙච්ච පලමුවෙනි වරදත්. උ/පෙ සාර්ථක නොවෙන්න විතරක් නෙවෙයි, යාළුවීමම ලොකු වැරදීමක්. මම ට්‍රයි කළේ අල්ලපු තාප්පේ හිටපු ලමයට. ඒ ගැන කතා කරන්න ගිහින් යාළු උනෙ එයාගෙ යාළුවා. තාප්පේ හිටියෙ පොස්ටරයක් නෙවෙයි, අල්ලපු ගෙදර තාප්පෙන් වටවෙච්ච ගෙදර ළමය. ඕකවත් තෙරෙන්නෙ නැද්ද?
ඒ ළමයගෙ විශේෂය තමයි, මම කසාද බැඳපු නෝන හැර මාත් එක්ක යාළු වෙලා හිටපු මට වඩා බාල එකම ළමය.
ඔය අතරෙ මට සහ මගෙ යාළුවෙකුට තවත් අක්ක නගො දෙන්නෙක් මුනගැහුන. ඒක වුනේ අපේ පරිප්පු ඉස්කෝලෙ තිබුන ප්‍රදර්ශනේක අන්තිම දවසේ. යාළුවගෙ වදේට අපි දවසක් double date (DD) එකකට ගියා. මේක අර ලා බාල ලමයට ආරංචි වෙලා ඒකි STF කොල්ලෙක් එක්ක යාළු වෙලා මට පොල්ල තිබ්බ. මමත් ඒක එහෙම උන එක ගැන බොහොම සතුටු වෙලා ඒ සම්බන්ධකම් දෙකම වහල දැම්ම. ලස්සනම දේ ඒක නෙවෙයි.
අපි DD යනකොට මාත් එක්ක ගියෙ අක්ක නැඟී දෙන්නගෙන් අක්ක, (මගෙත් අක්ක කෙනෙක් වෙන්න තරම් වයසයි.) මගේ යාළුවා මට වඩා අවුරුදු දෙකක් වයසයි. ඌත් එක්ක ගියේ නංගි. අන්තිමට ඒ අක්ක මගෙන් හැලුන හැටියෙම මු නංගිව හලල අක්ක දා ගත්ත. ඊට පස්සේ මම දන්න එකම දේ මගෙ යාළුවා Papua New Guinea වල මහ බැංකුවේ ලොක්ක විදියට පත්විමක් ලැබිල එහෙ ගිය බව විතරයි.
**************
ඊ ලඟට මගෙ බාඳුරා මලට බැඳී අන්ධ ප්‍රේමය. ඒක ගැන දවස් ගානකට කලින් ලියල තියෙනවනෙ. ඒ ළමයත් මට උල්පන්දම් දුන්න කියල මම ඒ දවස් වල චෝදනා කලාට දැන් මම දන්නව ඒ ඔක්කොම මගෙම වරද. සිකුරු මහ දශාව ලැබුවම ඔයවගේ මෝඩ වැඩ වෙනවලු. අවුරුදු 20 කට පස්සේ හරි මොලේ පෑදිලා සමාවෙන්න කියන්න ගිහින් තවත් අලුත් ප්‍රශ්න ඇති වෙයිද දන්නෙත් නැහැ නේද?
**************
නැවතුම අංක තුන. ඔයාගෙ ගම. මුහුදු හතකටයි වනාන්තර හතකටයි කඳු හතකටයි එහා තිබුන පුංචි ගම.
දැන් ඉතිං ඇස් පියාගෙන අතීතය මතක් කර ගනිමු. පුංචිම පුංචි කාලයක් උනත් ඒ අතීතය සුන්දරයි.
Tuesday, December 27, 2011
ඔය කාලෙමනේ වැඩ වර්ජන බස් වර්ජන එහෙම තදටම තිබුනේ. මේ මම ඒ ගැන ලියපු හැටි.
වර්ජකයෙනි
තොපට ශාප වේවා!
ඇයට මා දකින්නට එන්නට
මග ඇහිරුවාහිය තොප.
මට
මගේ ආදරනීය කුමරිය
දකින්නට නොසැලසුවාහුය තොප
නමුත්
නොහකිය තොපට සිඳලන්නට
ඇය වෙතට පිදූ සෙනෙහස
නොහකිය තොපට උදුරා ගන්නට
එකම හාදුවක් හෝ ඇගෙන්
නොහකිය තොපට රිදවන්නට
ඇය මා රිදවන්නක් මෙන්
එපරිදිම
නොහැකිය මටත් රැඳෙන්නට
එක තැනක
එක අරමුනක
නොහැකිය මට සිටින්නට
නොදැක මගේ කුමරිය
එබැවින් සොයා එන්නෙමි මා ඔබ
ඔබේ නවාතැන් සෙවනට
සිප ගන්නට නොවේ දෙතොලත
විඳින්නට නොවේ ලැම පහස
එහෙනම් මොන මගුලටද?
රිදවා ගනු පිනිසමය මසිත....
විප්ලවය දෙදන අතර හිරවෙලා වගේ නේද? ඔන්න ඔහොම තමයි ආදරයෙන් ආතුර වෙලා හිටපු කාලේ කවි ලිවුවෙ.
"ඔයා හරි විරූපියි පීටර්" කියල මගේ මූනටම කිවුවෙත් මේකිම තමා.
Monday, December 26, 2011
ආදරණිය දීපා,
අවුරුදු 21 කට පස්සේ හරි අද අහන්න ලැබුණ දේට මට හරිම සතුටුයි. හරියට කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන හිටිය වගෙයි දැනෙන්නේ. කවදාවත් අහන්න නොලැබෙනවට වඩා පරක්කු වෙලා හරි ඔයා මට ආදරෙයි කියල ඔයගෙන්ම අහන්න ලැබුන එක කොච්චර දෙයක්ද? ගතින් බැරි වුනත් සිතින් හරි අපිට ආදරයෙන් ඉන්න පුළුවන් නම්.... තව මොනවද ඕනේ... ඒත් මට බයයි දීපා, ඔය මේ බ්ලොග් එක බලපු දවසට ඔයාට මාව එපා වෙයිද දන්නේ නැහැ. ඒක එහෙම වුනත් මම හිතන්නේ මම ඔයාට හැම දෙයක්ම කියලා ඔයාටම තීරණයක් ගන්න දෙන එක තමයි හරි. කවදා හරි අපේ දෛවයේ ලියවිලා තියෙනවනම් ඔයයි මමයි එක වහලක් යටට එකතු වෙන්න ඕන කියල ඔයා හැම දෙයක්ම දැන ගෙන තියෙන්නම ඕන.
මේ සටහන ලියුවේ වෙනද ලියන පීටර් ට වඩා ගොඩක් සතුටෙන් ඉන්න පීටර් කෙනෙක්. ඔයා ඉක්මනට ඊ-මේල් හදාගන්නකෝ. මම හැමදාම ඔයාට ලියන්නම්.
මමත් ඔයාට ගොඩක් ආදරෙයි ඉස්කෝලේ හාමිනේ.
අවුරුදු 21 කට පස්සේ හරි අද අහන්න ලැබුණ දේට මට හරිම සතුටුයි. හරියට කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන හිටිය වගෙයි දැනෙන්නේ. කවදාවත් අහන්න නොලැබෙනවට වඩා පරක්කු වෙලා හරි ඔයා මට ආදරෙයි කියල ඔයගෙන්ම අහන්න ලැබුන එක කොච්චර දෙයක්ද? ගතින් බැරි වුනත් සිතින් හරි අපිට ආදරයෙන් ඉන්න පුළුවන් නම්.... තව මොනවද ඕනේ... ඒත් මට බයයි දීපා, ඔය මේ බ්ලොග් එක බලපු දවසට ඔයාට මාව එපා වෙයිද දන්නේ නැහැ. ඒක එහෙම වුනත් මම හිතන්නේ මම ඔයාට හැම දෙයක්ම කියලා ඔයාටම තීරණයක් ගන්න දෙන එක තමයි හරි. කවදා හරි අපේ දෛවයේ ලියවිලා තියෙනවනම් ඔයයි මමයි එක වහලක් යටට එකතු වෙන්න ඕන කියල ඔයා හැම දෙයක්ම දැන ගෙන තියෙන්නම ඕන.
මේ සටහන ලියුවේ වෙනද ලියන පීටර් ට වඩා ගොඩක් සතුටෙන් ඉන්න පීටර් කෙනෙක්. ඔයා ඉක්මනට ඊ-මේල් හදාගන්නකෝ. මම හැමදාම ඔයාට ලියන්නම්.
මමත් ඔයාට ගොඩක් ආදරෙයි ඉස්කෝලේ හාමිනේ.
Sunday, December 25, 2011
Saturday, December 24, 2011
මගේ අප්‍රසන්න අතීතයේ කතාව: දෙවන කොටස.
මම තදටම ඇන ගත්ත දැරිවි ගැන ඔයාට කිව්වා මතකයි නේද? මගේ බාඳුරා මල. ඒ දැරිවි බොහොම පැහදිලිව මට ලියල තිබුන එයා තව කෙනෙකුට බහ දීල ඉවර බව. ඒ ළමය කොක්ක දා ගෙන තිබුනෙ වයස 15 ඉඳන්ලු. මම දන්නෙ නැහැ ඇයි මම ඒක පිලිගන්නෙ නැතුව ඒ කෙල්ල පස්සේ ගියේ කියල. කොච්චර මෝඩ කමක්ද, නේද? මම දන්නෙ නැහැ ඇයි මට ඉස්කොලෙ හාමිනේ "බැහැ" කියපු වෙලාවෙ ඒක පිලිඅරන් වැරදුනා කියල හිතාගෙන නිකම් හිටිය වගෙ ඒ දවස වලත් නිකම් නොහිටියෙ. මට හිතෙනව ඒ ලමයට කතා කරල සමාවෙන්න කියන්න. දන්නවද? මම අන්තිමට බාඳුරා මලට කතා කලේ මම මගේ දෙවන රෝහලින් එන්න මාසෙකට වගේ කලින්. ඒ කියන්නෙ 1990. මම මේ මුලු කාලෙම දැනගෙන හිටියා එයා ඉන්නෙ කොහෙද කියල. සමහර අය වගෙ 91 යාලු වෙලා 92 කසාද බැඳල අතුරුදහන් වෙලා හිටියෙ නැහැ.
ඔයා කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත කියවල තියෙනවද? පොත කියවල නැතත් ඔයා ටෙලිය හරි බලන්න ඇතිනේ. මේ බාඳුරා මලත් ගොළු හදවතේ ධම්මි වගේ වෙන්න හැදුවද මන්දා. මට මතකයි කස කසා ඇට දාල සරුවත් බොන්නයි තිත්ත කෝපි වලටයි ආසයි කියනවා. සමහර විට මට අකමැති වුනාට මගෙන් ලැබුන ආදරය ගැන තණ්හාවක් හිතෙන්න ඇති. ගැහැණු ළමයි හරිම සංකීර්ණ සත්ව කොට්ටාශයක්. උන්ව තේරුම් ගැනීම e-coli බැක්ටීරියාවක් ඇතුලේ සිද්ධ වෙන රසායනික ක්‍රියාවන් තේරුම් ගන්න
උත්සාහ කිරීමටත් වඩා අමාරුයි.
ඔයාට මම දවසක් කියපු විදියට මගෙ පරණම පරණ ලියුම් වගයක් හමුවෙල මම කියෙව්ව. ඒව කියෙව්වට පස්සේ මට මම ගැනම හරිම කලකිරීමක් ඇතිඋනා. මම මොන තරම් මගෙ ජිවිතය අවසනාවන්ත කරගෙනද කියල දැනුයි මට තේරෙන්නෙ. පරන ලියුම් කියවනව කියන්නෙ යටගිය අතීතය මතක් කරල සතුටු වෙන්න පුලුවන් දෙයක් කියලයි මම හිතුවෙ – ඒ ඔයාගෙ ලියුම් කියවපු දවසෙ. ඒත් එක එහෙමම නෙවෙයි වුනේ. මගේ අවසනාවන්ත අතීතය හරියට කේ. ජයතිලකගෙ පොතක් වගේ. මට ඕන කාට හරි මේ විස්තර කියල ඒ අඳුරු අතීතය පිරුන ලියුම් ඉරල පුච්චලා දාන්න. විස්තර කරන්න පහසුවට කලු සුදු කියල මගේ අත්දැකීම් බෙදල වෙන්කරල ලියන්නම්.
මේක බොහොම දිග කතාවක් වේවි. ඒ නිසා කොටස් කිහිපයකට තමා ලියන්න වෙන්නෙ. මේ ලියුම ඔයා කවද හරි බැලුවොත් ඊට පස්සේ මට කතා නොකර ඉන්න වුනත් ඔයාට අවසර තියෙනවා. මීට කලින් නොකළ වගේම මම ඔයාට කවදාවත් කරදර කරන්නෙ නැහැ. මට යන්තම් දැනගන්න අරින්න ඔයා මේක කියවපු බවත්, මින් ඉදිරියට කතා නොකල යුතු බවත්.
සිද්ද වෙච්ච දේවල සිදු වෙච්චදි න පිලිවෙලට ලියුවනම් තමා හොඳ. ඒත් සමහර කලු දේවල් කියෙවුවම ඔයා සුදු දේවල් නොබලම මාව කලු මිනිහෙක් විදියට ශ්‍රේණි ගත කරන්න ඉඩ ඇති නිසා මුලින්ම මම හොඳ මිනිහ වෙච්ච ඉතා සුලු "සුදු" අවස්ථාවක් ලියන්නම්..
ඉතුරු කොටස හෙට.
Friday, December 23, 2011
බාඳුරා මලකි ඇය
සඹද ඔබ වෙලාගත්
කෙන්ඩියයි ඇගේ සිත
ඔබ දමා වසා ගත්
දිනකදී ශේෂ වෙයි
ඔබ අස්ථි කෙන්ඩියේ
ඉවතලනු ඇත එවිට
සෙනෙහසින් ඔබෙ හපය.
ඔන්න ඔහොම දවසක් මගේ බත් මුල දාගෙන ආපු කවරේ ලියල තිබුනා. කතෘ කවුරු උනත් ඒකෙන් අදහස් වුනේ මගේ ඉතිහාස ගත ඇනගැනීම ගැන මට කනගාටුව පළකිරීම. අද වෙනකම් අවුරුදු 22 ක් මම ඔය පරණ බත් ඔතපු කොලේ තියාගෙන ඉඳල. නමුත් අද මම දන්නවා ඒ අදහස එහෙම පිටින්ම වැරදියි. වරද මගේ.
හෙට කතාවෙ ඉතුරු ටික බලන්නකෝ. එතකොට පැහැදිලි වේවි.
Thursday, December 22, 2011
ඒ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේ. ඒ පොස්ට් එක කියෙව්වෙ නැත්නම් ඒක බලල එන්න. ඒ පොස්ට් එකේ දිනය දෙසැම්බර් 14, 2011.
අවවාදයයි. මෙය කියවවීමෙන් පසු " මම මොනව කරන්නද" යන කල්පනාවට වැටිමට ඉඩ ඇත.
මේ ලියුම කියෙව්වට පස්සේ අනිත් ඒව එකක්වත් කියවන එකක් නැති වෙන්නත් පුලුවන්. ඒ නිසා අනිත් සටහන් ටික ඉස්සෙල්ල කියවල එන්න. ඉංග්‍රීසි යතුරු පුවරුවක සිංහල අකුරු කොටන්න බොහෝම මහන්සි වෙච්ච නිසා වත් ඒ ටික බලන්න. දැන් අහන්න ඇයි මම මේ දේවල් ලියන්නෙ කියල. මෙන්න මේකයි වුනේ.
ඔයා මට ආදරෙයි කියපු දා ඉඳල දවසෙ හැම විනාඩියකම ඔයා මගෙ හිතේ හිනා වෙවී ඉන්නවා. මට හිතුන දැන් මම සතුටෙන් නේද කියල. ඒ උනුසුම පිට තමයි මම තවදුරටත් මගෙ ඉතිහාසය හාරන්න හැදුවෙ. ඉතිං ඒකේ ප්‍රතිපලය තමයි මේ. ඔයා මට ආදරය කරන්නෙ කොන්දේසි නැතුව කියල හිතන නිසාත්, මම තරම්ම නැතත් යන්තම් හෝ මැදිවියට ඇවිත් ඉන්න නිසා බොලඳ පෙම්වතියකගෙ ඇසින් නැතුව යටගිය දවස යටගිය දවසක් විදියටම බලන්න ඔයාට පුලුවන් වෙයි කියලත් හිතෙනවා.
ඔයා දන්නවනෙ මම ඔයාලගෙ ගමට එන්න කලින් අම්බානකට ඇනගෙන හිටියෙ කියල. කොල්ලො මට “ඇනපති” කියලත් ඒ දවස් වල කිවුව. එහෙම ලියපු ලියුම් කවරෙකුත් මගෙ ඉතිහාස පෙට්ටගමේ තිබිල හම්බ වුනා. ඒ ඇනගැනනීම කොච්චර මෝඩ වැඩක්ද කියන දේ මට අද තමයි දැනුනෙ. මීට කලින් කවදාවත්ම මට මෙහෙම හිතිල නැහැ. හේතුව තමයි, මම ඔයාලගෙ ගමෙන් ආවට පස්සේ පහුගිය 21 අවුරුද්දටම මේ තමයි පරණ ලියුම් කියවල බලන පලමුවෙනි වතාව. ඔයට ගොඩක් පින් මගෙ හිතේ නිදාගෙන හිටපු පැත්ත අවදි කරල සත්‍ය අවබෝධ කරගන්න උපකාර උනාට. මම දන්නෙ නෑ ඇයි මම මෙච්චර දවසක් ඒව නොබැලුවෙ කියල. සමහර විට මටත් මගෙ අතීතය ගැන සතුටක් නොතිබුන නිසා වෙන්න ඇති.
ඉතිරි කොටස හෙට දාන්නම්. සමහර විට ඔයා බ්ලොග් කියවන කාලේ වෙනකොට මුළු විස්තරයම ලියල ඉවරකර ගන්න පුළුවන් වේවි.
මේක මම ලියන්න පටන් ගත්ත එකමත් එක කාලෙක කතාවේ ඉතුරු කොටස නෙවෙයි. ඒ වුනත් මේක ලියල ඉවර උනාට පස්සේ ඒ කතාව ලියන එකේ තේරුමක් නැති වෙන්නත් පුළුවන්.
පාරිබෝගික අවවාදය අංක 2: පරණ කඩදාසි කියවීමෙන් එම කඩදාසි වල ඇති දුවිල්ල නිසා කැස්ස, උගුර කැසීම, සහ හිසරදය සැදීමට ඉඩ තිබේ. අත්දුටුවයි. සත්‍යයයි.
Subscribe to:
Posts (Atom)